වසර 1907 දී එංගලන්තයේ දී ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ලංකාවේ ඇරඹෙන්නේ ඉන් වසර පහකට පමණ පසු එනම් වසර 1912දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන්.
බේඩ්න් පවෙල් සාමිතුමා විසින් දරුවන් උදෙසා අරඹන ලද මෙම වැඩපිළිවෙළ අප රටට හඳුන්වාදෙනු ලබන්නේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ එවකට මාතලේ ප්‍රදේශයට අනුයුක්තව සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ ඉංග්‍රීසි ජාතික ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතායි.
එවක් පටන් දරුවන් අතර දිනෙන් ජනප්‍රියව පැවැතෙමින් පැමිණි මෙම ප්‍රායෝගික විෂය මාලාව පිළිබඳ කියවෙන්නේ “කඳවුරු ජීවිතයේ සතියක් තුළ දරුවන් ලබන දැනුම, පන්ති කාමරයක් තුළ මාස හයක දී දරුවන් ලබන දැනුමට සමාන ලෙසයි”.
වර්තමානය වනවිට රට පුරා ප්‍රචලිතව ඇති බාලදක්ෂ වැඩපිළිවෙල තුළ බාලදක්ෂ නායකයින් බාලදක්ෂ දරුවන් දහස් ගණනින් කටයුතු කරමින් සිටිනවා.
ඉනුදු කොළඹ ප්‍රදේශයට අයත් බාලදක්ෂ කණ්ඩායම්වලට අදාළව කටයුතු සිදුකරන කොළඹ දිසාව ප්‍රමුඛ ස්ථානයක සිටිනවා.
ගෙවුණු වසර පහක කාලය තුළ කොළඹ දිසාවේ ප්‍රධානියා ලෙස එනම් කොළඹ දිසාවේ දිසා කොමසාරිස් ලෙස කටයුතු කළේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු, චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන සිවිල් ඉංජිනේරු අමිල් අබේසුන්දරයි.
- ඔබේ අදහසට අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී මේ වනවිට අවසාන වශයෙන් පැවැත්වූ බාලදක්ෂ කැම්පෝරිය සාර්ථකව පැවැත්වුණාද ?
අපි අපේ බාලදක්ෂ කඳවුර ඉතා හොඳින්, සාර්ථකව පැවත්තුවා. වැසි සහිත කාලගුණික තත්ත්වයක් තිබුනත් අපේ බාලදක්ෂ දරුවන් සියලු අපහසුතා මැද ඉතාම සතුටින් සහ ඕනෑකමින් කඳවුර තුළ කටයුතු කළා සහ ක්‍රියාකාරකම්වල නියැලුනා. අපි බාලදක්ෂයින් විදිහට ඒ සියලුම බාධක, කරදර වලට සූදානම් වෙලා ඉන්නේ. ඕනම පුද්ගලයෙක්ට හොඳ කාලගුණ තත්ත්වයක් යටතේ කඳුරු බඳින්න පුළුවන්. නමුත් බාලදක්ෂයින්ට තමයි වැස්ස, සුළඟ වගේ අපහසුතා සමග ප්‍රශස්ථ මට්ටමින් කටයුතු කිරීමේ, කඳවුරු බැඳීමේ විශේෂ හැකියාව තියෙන්නේ. ඒ අභියෝග ජයගන්න තමයි අපි බාලදක්ෂයින් පුරුදු පුහුණු කරන්නේ. ඒ විදිහට දරුවන් තමන්ගේ ජීවිතයට එක්කරගන්න කුසලතා ඔවුන්ගේ ජීවිතේ විවිධ අවස්ථා වලදී ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන බාධක අභියෝග ජයගන්න ඔවුන්ට සවිය වෙනවා.
- එහිදී ඔබ ඇතුළු කණ්ඩායමටත්, දරුවන්ටත් මුහුණ දීමට සිදුවූ බාධක මොනවාද?
කඳවුරුකරණය පිළිබඳ දැනුමක් නැති සමහර දෙමව්පියන්ගෙන් සහ සමහර පුද්ගලයින්ගෙන් අපිට විවිධ බාධා එල්ල වුණා. නමුත් මේ කඳවුරුකරණයේ සහ බාලදක්ෂ කටයුතුවල තියෙන වැදගත්කම අවබෝධ කරගත්, දැනුමැති දෙමව්පියෝ, ගුරුවරු, විදුහල්පතිවරු වගේ විශාල පිරිසක් අපිට සෑහෙන්න උදව් කළා. ඉතින් ඔවුන්ගෙන් ලැබුණ ශක්තිය, ධෛර්යය, අවබෝධය සහ සහයෝගය මත තමයි අපිට මේ කඳවුර ඉතාම සාර්ථකව කරගෙන යන්න හැකි වුණේ.
- ඔබ බාලදක්ෂ කටයුතු ආරම්භ කළේ කුමන කාලයේදී ද ?
මම 1992 වසරෙදි ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 60 වන කොළඹ බාලදක්ෂ සමූහයට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. එවක අපේ බාලදක්ෂ නායක වශයෙන් හිටියේ හිම්රාන් භාරතීන් අයියා. මම 1998 වසරෙදි ජනාධිපති බාලදක්ෂ ප්‍රධානය ලබාගත්තා. පසුකාලයේ දී මට අවස්ථාව ලැබුනා කොළඹ බාලදක්ෂ දිසාවේ සහකාර දිසා කොමසාරිස්, නියෝජ්‍ය දිසා කොමසාරිස් සහ 2020 වසරෙදි දිසා කොමසාරිස් ලෙස කටයුතු කරන්න.
- කොළඹ දිසා කොමසාරිස් ලෙස කටයුතු කිරීමට ඔබට තිබූ විශේෂ සුදුසකම් මොනවාද ?
කොළඹ දිසාව කියන්නේ බාල දක්ෂයන් පහළොස්දහසක්, බාලදක්ෂ නායකයින් පන්සියයකට අධික ප්‍රමාණයක් සිටින, දිවයිනේ ප්‍රමුඛතම පාසල් විශාල ප්‍රමාණයක බාලදක්ෂ කටයුතු පරිපාලනය කරන කෙරෙන තැනක්. මෙහිදී ඉතා හොඳ කණ්ඩායමක් මට ලැබුණා කටයුතු කරන්න. විධායක සභාව සමග සහ දිසාවේ අන් අය සමගත් සාකච්ඡා කරමින් දරුවන්ට අදාළ වැඩසටහන් පවත්වාගෙන යාම වැනි කටයුතු රාශියක් තියෙනවා කරගෙන යන්න. ඒ හැමදේකදිම මට උපකාර වුනා මගේ කළමනාකරණ කුසලතා සහ බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ අවබෝධය. අනෙක දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ දිසාවත් සමග බාලදක්ෂ කටයුතු සිදුකළ නිසා කොළඹ දිසාවේ සියලුම නායක නායිකාවන් පිළිබඳවත් මට හොඳ වැටහීමක් තිබුණා. ඔවුන්ටත් මා පිළිබදව සහ මගේ නායකත්ව හුරුව පිළිබඳව අවබෝධයක් තිබුනා. ඒ නිසා ඔවුන් සමග එකතුවෙලා ගෙවුණු වසර පහක කාලය තුළ මට කොළඹ දිසාවේ බාලදක්ෂ කටයුතු සාර්තකව කරගෙන යාමට හැකිවුණා.
- අධ්‍යාපන සුදුසකම් පිළිබඳ නොයෙක් කතා බහ ඇතිව නැතිව ගිය කාලයක් මේ.. ඔබේ අධ්‍යාපන සුදුසකම් පිළිබඳ විස්තර මොනවාද ?
මම මගේ මූලික උපාධිය සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිය, අවුරුදු තුනක පාඨමාලාවකින් පසු මම ලබාගත්තා ලන්ඩනයේ සවුත් බෑන්ක් විශ්ව විද්‍යාලයේ. එහිදී මට පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගැනීමට හැකිවුනා. පසුව ඒ විශ්ව විද්‍යාලයේම මම MASTERS DEGREE එක කළා. Construction Project Management පිළිබඳව තමයි මට විශේෂත්වය තියෙන්නේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ. ඉන්පස්සේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබාගත්තා. ඊට අමතරව මේ දවස්වල මම මගේ අචාර්ය උපාධිය කරගෙන යනවා මැලේසියාවේ එම්.එස්.අයි. විශ්ව විද්‍යාලයේ.
- අධ්‍යාපන සුදුසුකම්වලට අදාළව ඔබ ඔබේ ඉංජිනේරු වෘත්තියට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කිරීමට කැමති නැද්ද ?
මම වෘත්තීය වශයෙන් ඉංජිනේරුවරයෙක්. නමුත් “Ones a scout always a scout” කියලා කියමනක් තියෙනවනේ. කුඩා කාලයේ ඉඳලම මේ බාලදක්ෂ කටයුතුවල යෙදිලා ඉඳලා දැන් ඒක ජීවිතේම කොටසක් වෙලා. දරුවන් එක්ක එකතුවෙලා මේ ලැබෙන සතුට වෙන දෙයකින් ලබාගන්න බැහැ. මට මගේ පවුලෙන් සහ මගේ පියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ කටයුතු සමබරව කරගෙන යන්න. ලෝකයේ වෙනත් බාලදක්ෂ සංගම් සමග එකතුවෙලා විදේශීය වශයෙනුත් බොහෝ කටයුතු කරලා තියෙනවා බාලදක්ෂ ව්‍යාපාරය තුළ. ඉතිං දිගටම බාලදක්ෂ ව්‍යාපාරයේ රැඳිලා ඉන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
- ඔබේ පවුලේ තොරතුරු මොනවාද ?
මගේ බීරිඳ හේශිනි සමරකෝන්. ඇය මගේ මේ වැඩ කටයුතු කරගන්න විශාල උපකාරයක් වෙනව මට. මගේ ලොකු පුතා ආදිත්‍ය, දෙවෙනි පුතා ආයුක ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගනුම ලබනවා. මගේ දුව අයත්නා. කොළඹ කාන්තා විද්‍යාලයේ ඉගනුම ලබනවා. මේ තුන්දෙනාම මේ වෙද්දී බාලදක්ෂ කටයුතුවල නිරතව ඉන්නවා.
- ඔබ වඩාත් කැමති ව්‍යාපාරිකයෙක් විදිහට ඔබව හඳුන්වනවාටද ? ඉන්ජිනේරුවෙක් විදිහට හඳුන්වනවටද ?
මම වඩාත් කැමති මාව ව්‍යවසායකයෙක් කියලා හඳුන්වනවාට. මගේ පියාගේ ව්‍යාපාර තිබුනත් ඔහු හැමදාම කිව්වේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳව දැනුම ලබාගෙන සුදුසුකම් හදාගෙන මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව යමින් තමයි මං අධ්‍යාපනය ලබලා ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වුනේ. බාලදක්ෂ කටයුතු සහ ව්‍යාපාර කටයුතු නිසා ඉංජිනේරුමය කටයුතු තමයි මට ටිකක් හරි මගහැරෙන්නේ. නමුත් ඉදිරියේදී ඒ වැඩ ටිකත් කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. මොකද ආචාර්ය උපාධිය හදාරනවිට මගේ ක්ෂේත්‍රය වුනේ අඩු පිරිවැයකින් නිවාස සෑදීම පිළිබඳව. ඒ ආශ්‍රයෙන් තමයි මම මගේ පර්යේෂණ නිබන්ධනය සිදුකරන්නෙත්. ඒකෙන් අනාගතයේ රටට සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
- ඔබ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ?
මගේ පියා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. අපිට ටෙලි නාට්‍ය, චිත්‍රපට හදන යුනිට් එකක් ඉස්සර ඉඳන් තිබුණා. ඒ දේවල් දැකලා ලොකු ආසාවක් තිබුණා ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. අවුරුදු හතරකට විතර ඉස්සෙල්ලා මගේ යාලුවෙක් යෝජනාවක් කළා අපි මේ වගේ දේකට සම්බන්ද වෙමු කියලා. ඉන්පස්සේ මම චිත්‍රපටි දෙකක් නිෂ්පාදනය කළා. “ආසු” චිත්‍රපටය ටෝකියෝ සිනමා සම්මාන උළෙල ඇතුළු චිත්‍රපට උළෙල රැසක සම්මාන හිමිකරගත්තා වගේම සාර්ථකව ලංකාවේ තිරගත වුණා. ඊළඟට “විහඟ ප්‍රේමය” චිත්‍රපටයත් සම්මාන රැසක් හිමිකරගත්තා. මේ අවුරුද්දේ අපේ ඒ චිත්‍රපටයත් තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ආචාර්ය උපාධියේ කටයුතු අවසන් කරලා, දෙවන චිත්‍රපටයත් ප්‍රදර්ශනය වුනාට පස්සේ අලුත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් අදහසක් තියෙනවා.
- දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවෙන්න බාලදක්ෂ කටයුතු කරගෙන යාමට ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායම කටයුතු කරන්නේ කොහොමද ?
දැන් දෙමව්පියන්ට තම දරුවාගේ ප්‍රගතිය වෙබ් සයිට් එකට ගිහින් බලාගන්න පුළුවන්. මේ වගේ දේවල් සහ තාක්ෂණය නිසා බාල දක්ෂ කටයුතු ඉතා පහසුවෙන් කරගෙන යාමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම දෙමව්පියෝත් ඉස්සරට වඩා හරි උනන්දුයි. ඔවුන්ටත් දැන් ඒ අවශ්‍ය දැනුම, විස්තර Colombo scout web site එකේ තියෙනවා. මේක අවිධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක්. උදේ ඉඳන් දවල් වෙනකන් පන්ති කාමරයක් තුල ඉන්න ළමයව අපි පන්ති කාමරයෙන් එළියට එක්කන් ගිහිල්ලා ක්‍රියාකාරකම් මගින් දේවල් පුරුදු කරනවා. ඒකෙන් ළමයින්ගේ මතක ශක්තිය, දේවල් ඉක්මනට උකහා ගැනීම, දේවල් දරා ගැනීම වගේ හැම දෙයක්ම වැඩි වෙනවා. බාල දක්ෂ කටයුතු කරලා කිසිම කරදරයක් නැතුව සාමාන්‍ය පෙළ උසස්පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලවලට යන ළමයි ඕනෑ තරම් ඉන්නවා. එහෙම නැතත් දරුවෙක් වෙන ක්ෂේත්‍රයකට ගියත් ඒ ක්ෂේත්‍රයේ ඉහලට යන සම්භාවිතාව බොහොම වැඩියි.
- ඔබගේ කාලසීමාව තුළ මුහුණදුන් අභියෝගාත්මකම සිදුවීම මොකක්ද ?
දෙදාස් විස්සේ මට මේ දිසා කොමසාරිස් තනතුර ලැබිලා මාසයක් ඇතුළත වගේ තමයි ලංකාව ලොක්ඩවුන් වුණේ. කොරෝනා ප්‍රශ්නය පටන් ගත්තේ. කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අවුරුදු එකසිය ගානක් අපි කරගෙන ආපු බාල දක්ෂ කටයුතු වලින් වෙනස් වෙලා කටයුතු කරන්න අපිට සිද්ධවුනා. ඒ වෙනකොටත් ළමයි ගෙවල් වලට හිර වෙලා කොටුවෙලා හිටියේ. ඉතින් අපිට ළමයින්ට මොකක් හරි සහනයක් බාල දක්ෂ කටයුතුවලින් දෙන්න ඕන කමක් තිබුණා. අපි කොළඹ දිශාව වශයෙන් මුලින්ම වෙබිනා සීරිස් එකක් පටන් ගත්තා. online කටයුතු කළා හැකි පමණින්. අපි කඳවුර පවා online තාක්ෂනය ඔස්සේ සිදුකළා. කොරෝනා කියන අභියෝගයේදී බාලදක්ෂයින් කොහොමද අභියෝග හමුවේ කටයුතු කරන්නේ කියන එක අපි ලංකාවට සහ ලෝකෙට පෙන්නුවා.