සංචාරක වීසා මඟින් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගත කරන පුද්ගලයින් දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් “ඩොල්ලා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
මෙම සැකකරු විසින් රැකියාවන් සඳහා සංචාරක වීසා මඟින් කාන්තාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත් කර ඇති අතර, එරට දී සිදුව ඇති හිරිහැර හේතුවෙන් එම කාන්තාව රැකියාව සඳහා යොදවා සිටි නිවසින් පිටත්ව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.
පසුව එම කාන්තාව තානාපති කාර්යාලය මඟින් පවත්වාගෙන යන සුරක්ෂා මැදුර වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
සුරක්ෂා මැදුරේ රඳවා සිටි කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි අදාළ සැකකරු ඊයේ (24) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ අතර සංචාරක වීසා මඟින් රැකියාවක් සඳහා ඕමානයට කාන්තාවක් පිටත්කර යැවීමට සූදානම් වූ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සංචාරක වීසා මඟින් ඕමානයට යාමට පැමිණි කාන්තාවක් සතුව තිබූ ලියකියවිලි පරීක්ෂා කර ඇති කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් ඇයව රඳවා ගෙන ප්‍රශ්ණ කර ඇති බව සඳහන්.
එහිදී අනාවරණය වී ඇත්තේ සංචාරක වීසා මත ඕමානයේ රැකියාවක් සඳහා පිටත්ව යාමට පැමිණි බවයි අනාවරණය වී ඇත්තේ.
පසුව ඇයගෙන් ලද තොරතුරු අනුව කටුකායක ගුවන් තොටුපොළේ රැඳී සිටි සැකකරුව ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.





