AFC Banner
Empty Ad
Empty Ad

ශ්වසන ආබාධයට ප්‍රතිකාර ගන්න ඇතුළත් කළ දැරිය යකල්ල රෝහලේදී මරුට

ගලෙන්බිඳුණුවැව යකල්ල රෝහලට ශ්වසන අපහසුතාවක් නිසා ඇතුළත් කළ සිය දියණියට විනාඩි පහළොවක පමණ කාලය තුළදී වෛද්‍ය උපදෙස් මත නොසැලිකිලිමත්ව එන්නත් තුනක් ලබාදීමෙන් ජීවිතය අහිමි වූ බව මරණයට පත්වූ දැරියගේ මව ඇතුළු ඥාතීහු පැවැසූහ.

අසාධ්‍යව රෝහල් ගතකළ දැරියගේ ජීවිතය​ බේරා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක යෙදුණද ඇය පසුගිය 3 දා අලුයම සිය ජීවිතයට සමු දුන්නාය.

මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ කුරුණෑගල කොලණිය පඩිකාරමඩුව ගලෙන්බිඳුණුවැව පදිංචිව සිටි අට හැවිරිදි ගිහානි සංසලා රන්දුන් දැරියයි. දෙවසරක් පමණ පවතින ශ්වසන රෝගී තත්ත්වයට යකල්ල රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පසුගිය 21 දා රාත්‍රියේ හදිසියේම හුස්ම ගැනීමට නොහැකිවීම නිසා දැරිය යකල්ල රෝහලට ඇතුළත් කර තිබුණි.

ඇයට නිවසේදී ලබාදුන් ප්‍රතිකාරවලට අමතරව රෝහලේදී දූමායනය කර පසුව විනාඩි 15 ක කාලයක් තුළ එන්නත් තුනක් ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළ අතර දින කිහිපයක් අසාධ්‍යව ප්‍රතිකාර ලැබ මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක සිදුකරනු ලැබීය.

එහිදී දැරියගේ මව වූ අලුත්ගෙදර පුෂ්පා කුමාරි (40) තිදරු මව සාක්ෂි ‌දෙමින් කියා සිටියේ යකල්ල රෝහලේ නොසැලකිල්ල නිසා සිය දියණියට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවයි.

විනාඩි 15 ක කාලය තුළ කුඩා දැරියට ලබාදුන් එන්නත් මාත්‍රා තුන හේතුවෙන් ඇයට මෙම මරණය සිදුවූ බවත් දැරියගේ මරණය පිළිබඳ සැකයක් මතුව තිබෙනා නිසා සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඈ පැවැසුවාය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (1දා) පැවැත්වූ අතර අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. ඒ. කරුණාතිලකගෙන්ද ඇය ඉල්ලා සිටියේ මෙම මරණය පිළිබඳ සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි.

මව වන අලුත්ගෙදර පුෂ්පා කුමාරි (40) මහත්මිය කියා සිටියේ දින කිහිපයක් අනුරාධපුර ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිය දියණියගේ රුධිර පීඩනය, සීනි මට්ටම විටින් විට අඩු වැඩි වූ බවත් ලබාදුන් එන්නත විෂවීමක් සිදුවන්නට ඇති බවට සැක කළ හැකි බවත් රෝහල් කාර්ය මණ්ඩලය පැවැසූ බවයි. මෙම මරණය යකල්ල රෝහලේ නොසැලකිල්ල නිසාම සිදුවූ බව කියමින් දැරියගේ ඥාතීන් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කර තිබුණි.

විවෘත තීන්දුවක් ලබාදුන් අධිකරණ වෛද්‍යවරයා දැරියගේ මරණයට හේතුව අනාවරණය කරගැනීමට වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු යැයි නිගමනය කළේය. ගලෙන්බිඳුණුවැව පොලිසියේ පොලිස් සැරයන් ජී. ජී. ආර්. පී. කුමාරසිංහ (28080) නිලධාරියා විසින් දැරියගේ මරණ පරීක්ෂණ සාක්ෂි මෙහෙයවීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?