විමල් අත්අඩංගුවට ගන්න වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින නඩුව වෙනුවෙන් අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් ඉදිරියේ කැඳවනු ලැබුවා.

අදාළ නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම නඩුව කැඳවන සෑම දිනයකම එක් එක් විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම නඩුව කිසිමදාක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි.

විත්තිකරුවන් මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම මඟහැරිය හොත් විත්තිකරුවන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර නඩුව ඇසීමට සිදුවන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අනතුරු අඟවා සිටියා.

ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමට ද නියම කෙරුණා.

කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
23
+1
4
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?