උතුරු මැද පළාතේ අධ්‍යාපනය ලබන පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන මැති ඇමැතිවරුන් මෙන්ම අධ්‍යාපන බලධාරීන් දරුවන් දිරිමත් කිරීමට විවිධ තේමාපාඨ නිර්මාණය කරමින් සිටිති.
“අධ්‍යාපනයෙන් තොර දරුවන්ට අනාගතයක් නොමැත’’ ‘‘ඉගෙනුමට මුල්තැන’’ ලොව හොඳම දේ දරුවන්ටය’’ ඒ තේමා පාඨයන්ගෙන් කිහිපයකි.
අධ්‍යාපන ලෝකයේ තේමාපාඨ මෙහෙවර දැක්ම අර්ථ ගැන්වෙන තරමටම ඇතැම් පළාත්වල පාසල් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට නිසි නිදහස් පරිසරයක් උරුම වී තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. විෂයන් සඳහා පවතින ගුරු පුරප්පාඩු පාසල තුළ යටිතල පහසුකම් නොමැතිකම, තාක්ෂණ පහසුකම්, විදුලිය, ජලය, වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති කම, උපකරණ හිඟය මෙන්ම පාසලේ ගොඩනැගිලි දැඩි ලෙස අබලන් වී ගරා වැටීමට ලක්වීමත් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පවතින ප්‍රධාන බාධාවන්ය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් එදා ත්‍රස්තයින්ගේ ගොදුරු ගම්මානයක් වූ දම්මින්න මහා විද්‍යාලයද කලාපයේ පාසල් අතර ප්‍රධාන අඩුපාඩුකම්වලින් පිරි පාසලකි.
දම්මින්න මහා විද්‍යාලීය දරුවන් මෙන්ම ගුරු මව්පියවරුන් දස්කම් – විස්කම් රැසක් ලොවට පෙන්වා තිබුණද එම විද්‍යාලය තවත් පැති කිහිපයකින් අධ්‍යාපන බලධාරීන්ට හෙළිදරව් කරදිය හැකිය. එසේ නොමැතිනම් සැමගේ දැන ගැනීමට අනාවරණය කළ හැකිය.
එකී පාසල වර්ෂා දිනවලදී ඉගෙනුම නවතින පාසලකි. වැසිදින දරුවන් අඩුවෙන්ම පැමිණෙන පාසලකි. එන පාසල් දරුවන් කිහිප දෙනාද පංති කාමර තුළම තෙමෙනවට කුඩ ඉහළාගෙන අසීරුවෙන් දැනුම ලබන පාසලකි. වහලවල්වලින් වැසි වතුර පංතිකාමරවලට වැටෙන විට දරුවන් ද ගුරුවරුන් ද දඬුවම් දැරීමට සිදුවන සිප්හලකි. කොටින්ම කියතොත් මේ වර්ෂා දිනවල අධ්‍යාපනය ඇණහිටිනා විදුමවකි. ඒ අන් කිසිවක් නිසා නොව පාසලේ සියලු ගොඩනැගිලිවල වහලවල් අබලන් නිසා වැසි ජලය පංති කාමරවලට රූරා වැටෙන නිසාය.
එහි වරද වර්ෂාවේවත් අසරණ ගුරු මව්පියවරුන්ගේවත් මව්පියන්ගේවත් පාසල් දරුවන් ගේවත් නොව මෙරටේ “කටින් බතල අල සිටුවන’’ අධ්‍යාපන මැති ඇමැතිවරුන් සේම පළාත් අධ්‍යාපන බලධාරීන්ය.
වර්ෂා දිනවල අපාදුක් විඳින දම්මින්න ගුරු මව්පියවරුන්ගේත් සිසු දරුවන්ගේත් අඳෝනාව බලධාරීන්ට නොපෙනීම විමතියට කරුණකි. මහපොළව සමග සටන්කර සතා සිව්පාවන්ගෙන් වගාව ආරක්ෂාකර නොනිදා දහසක් දුක් විඳ රටට බත සපයන ගොවිදරුවන්ගේ අධ්‍යාපන අනාගතය වෙනුවෙන් 1986 වසරේදී සිසුන් 206 කින් ආරම්භ වී ඇති දිඹුලාගල දම්මින්න මහා විද්‍යාලය අතිදුෂ්කර පාසලක් බව අප අමුතුවෙන් පහදා දිය යුතු නැත.
වර්තමානය වන විට විද්‍යාලයේ 1 වසරේ සිට 13 වන වසර දක්වා පංති පැවැත්වෙන දම්මින්න මහා විද්‍යාලයේ සිසුන් 450කට ආසන්න පිරිසක් විවිධ බාධක දුෂ්කරතා පිඩා මැද අකුරු කරති.
විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු 34 දෙනෙකුගෙන් සමන්විත දම්මින්න මහා විද්‍යාලය එදා – මෙදා කාලය තුළදී චිත්‍ර, නැටුම්, සංගීතය, ක්‍රීඩා අංශවලින් කලාප පළාත් මට්ටමින් සුවිශාල ජයග්‍රහණ රැසක් ලබමින් විශ්වවිද්‍යාල වරම් ලබාගත් සිසුන් රැසක්ද බිහිකර ඇති කලාපයේ කැපී පෙනෙන අභිමානවත් පාසලකි.
වල් අලි තර්ජන මැදින් අකුරු කිරීමට විත් එසේ ජයග්‍රහණ ගත්තද කෙසේවත් විද්‍යාලය මෙතෙක් අලුත්වැඩියාවක් නොකිරීම බරපතළ ගැටලුවකි.
දම්මින්න මහා විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේ සිට සංගීත, නැටුම්, චිත්‍ර ප්‍රාථමික අංශය මෙන්ම සියලු පංති කාමරවල වහලවල් අබලන්වීම පිළිබඳව පාසල් සංවර්ධන සමිතියත් විදුහල්පතිවරයාත් පළාතේ මැති – ඇමැතිවරුන් අධ්‍යාපන බලධාරීන්ට ලිඛිතව, වාචිකව අනත්ත අප්‍රමාණව දැනුම්වත් කිරීමද කර ඇත.
විද්‍යාලයේ පවතින ගුරු නිවාස 10 ම දැඩි ලෙස අබලන්වීමෙන් මෙම විද්‍යාලයට පිටතින් පැමිණ සිටින ගුරුවරු ප්‍රදේශයේ කුලී නිවාසවල රැඳෙමින් දරුවන්ගේ අනාගතය පාදා රටට ජාතියට ආගමට යහපත් පුරවැසියන් පිරිසක් දායාද කිරීමට දරන වෙහෙසකර ජීවිතය කනගාටුදායකය.
‘‘කොළඹට කිරි ගමට කැකිරි’’ සංකල්පය මතුවන දම්මින්න මහා විද්‍යාලයේ සිසු දරුවන්ට වැසිදිනවල අධ්‍යාපනයේ පිපාසය නිවාගැනීමට සිදුව ඇත්තේ ඒ වෙනුවට පංති කාමරවලට වැටෙන වැසිබිඳුවලට දෑසින් උනන කඳුළු බිඳු මුසු කිරීමටය.
විද්‍යාලයේ සියලු වහලවල් දිරාපත්ව ගරාවැටෙමින් පවතින මොහොතක වැසිදිනවල පංතිකාමර එලෙස තෙත බරිත වෙද්දී පායන දිනවලත් අධික සුළං සහිත දිනවත් වහලට වඳුරන් රිළවුන් පැන කුමන මොහොතක උළුකැට ෂීට් කැඩී හිස්මත පතිත වී අනතුරක් වේද යන්න දරුවන්ට පවතින ඊළඟ භයංකාර සිද්ධියයි.
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 101 ක අසරණ ගොවි දරුවන් විසිපස්දාහකට ආසන්න පිරිසක් අධ්‍යාපන හදාරන ඇතැම් පාසල් මෙලෙස නොවුණද දම්මින්න විද්‍යාලයේ ගුරුවරුත් පාසල් දරුවනුත් අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත්තේ මරුවා සමග වාසය කරමිනි. මන්දයත් වර්ෂාවට හෝ අධික සුළඟකට අබලන් පංති කාමර කුමන මොහොතක හිස මතට කඩා වැටෙයිද යන්න හේතු කොට ගෙනය. බලයට පත්වන සෑම රජයක්ම සෑම අයවැයකදී රටේ අධ්‍යාපනය සෞඛ්‍ය සංවර්ධනයට වැඩි වශයෙන් මුදල් වෙන්කරවා කියා පුරසාරම් දොඩවා මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවද උතුරු මැද පළාතේ පොළොන්නරුව, දිඹුලාගල ඈත දුෂ්කර පාසලක් වන දම්මින්න මහා විද්‍යාලය කිසිදා සංවර්ධනය නොවූයේ කාගේ වරදකින්ද යන්න එම විද්‍යාලීය දරුවන්ගේ මව්පියන්ට මතුවන පැනයකි.
දම්මින්න මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ කාරක සභික උපාලි ඒකනායක මහතා විද්‍යාලයේ පවතින තත්ත්වය පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෙලෙස කීය.
‘‘මහත්තයෝ දම්මින්න කියන්නේ ත්‍රස්තවාදි කලබලවලින් බැට කාපු ගමක්. හැම අතින්ම දුෂ්කරයි. අදටත් අපි වන අලි තර්ජන මැද ගොවිතැන් කරලා දුක් මහන්සි වෙලා තමා මේ දරුවන් ඉගෙන ගන්න පාසලට යවන්නේ. දරුවෝ තමා අපේත් රටෙත් අනාගතය. ඒ අය හොඳට ඉගෙන ගත්තොත් අපිට සලකනවා රටටත් වැඩක් කරනවා. නමුත් දම්මින්න පාසලට යන දරුවන්ගේ අනාගතය කොහොම වෙයිද කියලා විශ්වාස කරන්න බැහැ. වැස්සට දරුවන්ගේ අධ්‍යාපනය නවතින ලංකාවේ එකම පාසල වෙන්න ඕනේ මේ දම්මින්න පාසල. මොකද හැම ගොඩනැගිල්ලකම වහලය දිරලා වැසිදාට පංති කාමර තෙමෙනවා. එදාට දරුවන්ගේ අධ්‍යාපනය නවතිනවා. වහින දාට ළමයි පාසල් යන්නේ නැත්තේ පංති කාමර තෙමෙන නිසා. අපේ පාසලේ දරුවෝ 450ත් විතර ඉන්නවා. වැසිදාට ළමයි 40ත් 50ත් අතර තමයි එන්නේ. ඒ අයත් පංතිකාමරවල කුඩ ඉහළගෙන ඉන්නේ. දෙමව්පියන් ගිහිං පංති කාමරවල පිරෙන වැසි ජලය අතුගානවා. විදුහල්පතිවරයාගේ කාර්යාලයේ ඉඳලා සෑම තාක්ෂණ කාමර, පරිගණකාගාරය, කලා අංශය හැම කාමරයක්ම වැස්සට තෙත බරිත වෙනවා. අපි මේ ගැටලු ගැන පළාතේ අධ්‍යාපන බලධාරින් දේශපාලකයන් 1990 ඉඳලා දැනුවත් කරනවා. නමුත් ඇහැක් ඇරලා එක ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කරලා දීලා නැහැ. අපේ දරුවන්ගේ අනාගත විභාග ජයගන්න බැරි වුණොත් රටේ අධ්‍යාපන බලධාරීන් වගකිව යුතුයි. මොකද මේ දිනවල දරුවෝ පංති කාමර තෙමෙන නිසා පාසල් යන්නේ නැහැ. කරුණාකරලා මේවට විසඳුමක් දෙන්න. ගොඩනැගිලිවල වහළවල් අබලන් වීමෙන් වර්ෂා දිනවල පංති කාමර තෙමීමෙන් අධ්‍යාපන කටයුතු නතර වීම පිළිබඳව අප දම්මින්න මහා විද්‍යාලයේ විදුහල්පති උපාලි රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ඒ පිළිබඳව පළාතේ දේශපාලන අධිකාරිය සේම අධ්‍යාපන බලධාරීන්ට ලිඛිතව දැනුම්වත් කර ඇති බවය.
විද්‍යාලයේ පවතින තත්ත්වය පිළිබඳව අප දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමා වාසලමුදලි මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී පැවසුවේ තමා මේ සම්බන්ධව පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි.