වාහන ආනයනය කිරීමේ දී පොදු ප්‍රවාහන සේවය සඳහා ප්‍රමුඛතාව ලබදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
අද (14) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව පැවසුවා.
මේ වනවිටත් පොදු ප්‍රවාහන සේවයේ බස් රථ 5,000ක පමණ අඩුවක් පවතින බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.
එමෙන්ම ඉදිරියේ දී බස් රථ ආනයනය කිරීමේ දී විද්‍යුත් බස් රථ ආනයනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බවයි ඔහු පැවසුවේ.
මේ වනවිටත් එම බස්රථ සහ ඒවායේ මිල ගණන් සම්බන්ධයෙන් විමසීම් සිදුකර ඇති බව පැවසූ සභාපතිවරයා එම රථ චීනයෙන් ආනයනය කිරීමට සූදානම් බව ද පැවසුවා.
එලෙස බස් රථ ආනයන කිරීමේ දී ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා බලා සිටීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ සභාපතිවරයා ලබන නොවැම්බර් මාසය පමණ වනවිට බස් රථ ආනයනය සඳහා සීමාවන් ලිහිල් කළ යුතු බවයි සඳහන් කළේ.
මෙම වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය සඳහා අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
ඒ, අනුව පළමු අදියර යටතේ පොදු මගී ප්‍රවාහන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙකුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට අවසර දෙන අතර දෙවැනි අදියර යටතේ වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිත කරන වාහන ආනයනය සඳහා 2024 දෙසැම්බර් 01 වැනිදා සිට අවසර දෙනු ලබනවා.
තුන්වන අදියර යටතේ පුද්ගලික භාවිත මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදිලියේ වාහන ආදිය ඇතුළුව) ආනයනය සඳහා 2025 පෙබරවාරි 01 වැනිදා සිට අවසර දෙනු ඇති.