ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග උරණ වී ඔහුට වෙඩි තැබීම සඳහා උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
වඳුරඹ පොලිස් ස්ථානය පිහිටි භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භූමියේ පිහිටා තිබෙන ගස් කීපයක් ඉවත් කිරීම සඳහා ලබාදී තිබූ අවසරය මත දැව සංස්ථාවේ නිලධාරීන් ඊයේ එම පොලිස් භූමිය වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.
එම අවස්ථාවේදී එම රාජකාරිය භාරව සිටි කොස්තාපල්වරයා නව ගොඩනැගිල්ල ඉඳිකරන පරිශ්‍රය ට බාහිරව තිබෙන අනෙකුත් ගස්ද දැව සංස්ථාවේ සේවකයන් ලවා කපා ඉවත් කිරීමට කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.
රාජකාරි කටයුත්තක් සඳහා පැය කීපයක් පිටතට ගොස් සිටි ස්ථානාධිපතිවරයා පැමිණීමෙන් අනතුරුව පොලිස් භූමියේ තිබෙන සියලුම ගස් කපා ඉවත් කර තිබෙන අයුරු දැක කොස්තාපල්වරයා නිල කාමරයට කැඳවා දොස් පවරා තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.
එහිදී ස්ථානාධිපතිවරයා සමඟ බහින්බස් වූ කොස්තාපල්වරයා නිල කාමරෙන් පිටතට පැන “කෝ ගනින් ගිනි අවියක් මූට වෙඩි තියන්න” යැයි පවසමින් චෝදනා ගාරය තුළ ගිනිඅවි බහා තිබෙන ආරක්ෂිත පෙට්ටිය අසලට ගොස් එය විවෘත කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ.
එහිදී සෙසු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයාව බැරැක්කය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු පළාගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කලේ.
පලාගිය කොස්තාපල්වරයා යක්කලමුල්ල පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ