රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු පථයෙහි අතහැර දමා , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්, අද (28) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු පානදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මොහු අද (28) දින අලුයම 04.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරි වල නිරත රේගු නිලධාරීන් දැක බියට පත් වූ මෙම ගුවන් මගියා , සිය ගමන් මල්ල , ගමන් මලු පථ අංක 03 හි අතහැර දමා , ගුවන් තොටුපොළ ” හරිත මාවත ” ඔස්සේ පළා යාමට පටන් ගෙන තිබෙනවා.
එහිදී ගමන් මලු නොමැතිව , කඩිනමින් ” හරිත මාවත ” ඔස්සේ ගමන් කරමින් සිටි මොහු නවතා ප්‍රශ්ණ කිරීමේ දී ඔහු සන්තකයෙහි වූ ජංගම දුරකථනය පරීක්ෂාවකට ලක් කිරීමේ දී මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීහු සමත් වී තිබුණා.
පසුව මෙම ගුවන් මගියා ගමන් මලු පථය වෙත රැගෙන ගොස් , ඔහුගේ ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගමන් මල්ල තුළ , විදේශීය නිෂ්පාදිත ” එසේ ” ( Esse ) වර්ගයේ දුම්වැටි 20,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 101 ක් සගවා ගෙන ගෙනවිත් තිබුණා.













