තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් 4 දෙනකු අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බෝකුන්දර මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
පොලිසිය වැටලීම සිදු කරන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පළා ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් මහරගම සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18, 19, 20 අතර පසුවන්නන්.
ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



