AFC Banner
Empty Ad
Empty Ad

රෝගී පුංචි පුතා වෙනුවෙන් පාසැල් යන රොබෝ යාලුවා

රෝගී තත්ත්වයක් හේතුවෙන් පාසල් යෑමට නොහැකි නිවසට කොටුවුණු අවුරුදු 7ක පුංචි පුතකු වෙනුවට පාසල් යන රොබෝවකු ගැන අපූරු පුවතක් ජර්මනියේ බර්ලීන් අගනුවරින් වාර්තා වනවා.

ජොෂුවා මාටින්නැංගිලි නමැති මෙම පුතා දරුණු පෙනහළු රෝගී තත්ත්වයකින් පෙළෙයි. ඔහු හුස්ම ගන්නේ ස්වාස නාලයට ඇතුළු කළ බටයක් ආධාරයෙනි. එහෙයින්, ජොෂුවා ට පාසල් ගොස් අධ්‍යාපනය ලැබීමට නොහැකිය. ඔහු නිවසේ සිට පාසල් අධ්‍යාපනය ලබන්නේ ඔහු වෙනුවෙන් පාසලේ ඇති රොබෙට්ටාගේ ආධාරයෙනි.

ජොෂුවා වෙනුවට ඔහුගේ පංති කාමරයේ ඔහුගේ මේසය මත මෙම කුඩා රොබොට්ටා තබා තිබේ. නිවසේ සිටින ජොෂුවා, ඔහුගේ පංතිභාර ගුරුතැමිය සමඟත්, ඔහුට උගන්වන සෙසු ගුරුවරුන් සමඟත් සම්බන්ධ වන්නේ රොබොට්ටා හරහාය.

ගුරුතුමිය උගන්වන දෑ රොබොට්ටාගේ කැමරාවෙන් නිවසේ පරිගණකයට ලැබේ. ස්වාස නාලයට සවි කළ බටය නිසා කතා කිරීමට නොහැකි බැවින්, ජොෂුවා විශේෂ සංඥා ක්‍රමයකට ගුරුතුමිය සමඟ සම්බන්ධ වෙයි. ජොෂුවාගේ පංතියේ යහළු යෙහෙළියන් ද ජොෂුවා සමඟ සම්බන්ධ වන්නේ එම සංඥා ක්‍රමය යොදා ගනිමින් රොබොට්ටා හරහාය.

”පුතාට පංති කාමරයේ සිට අධ්‍යාපනය ලබන්න අමාරුයි. ඒකට විසඳුමක් වුණේ මෙම රොබෝ.” යැයි ජොෂුවාගේ මව සිමෝන් පවසයි. ”පංතියේ යාළුවෝ ජොෂුවා එක්ක කතා කරනවා. විහිළු කරනවා. හිනාවෙනවා. ඒ නිසා ජොෂුවාට පංතියේ සිටින හැඟීම ලැබෙනවා. එයා ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්. මේ ආකාරයට ජොෂුවාට විශේෂ අධ්‍යාපනයක් ලබා දෙන්න හැකිවීම සතුටක්” යැයි ජොෂුවා අධ්‍යාපනය ලබන පුට්ස්බ්ලුම් ග්‍රොන්ද්ෂූල් පාසලේ විදුහල්පතිනිය යූත් වින්තර්බර්ග් පැහැදිලි කර තිබේ.

පසුගිය කාලයේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පාසල් වැසී යද්දී, මර්සා-හෙලර්ඩෝෆ් දිස්ත්‍රික්කයේ නගරසභා බලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් එක් වී සිසුන් වෙනුවට පංති කාමරයේ රොබෝ යන්ත්‍ර තබා ඒවායින් නිවසේ සිටින සිසුන් සහ පංති කාමරයේ සිටින ගුරුවරුන් සම්බන්ධ කිරීමට නව ව්‍යාපෘතියක් සකස් කළේය.

‘කොවිඩ් 19’ පාලනය වෙද්දී, යළි පාසල් ආරම්භ කළ බැවින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවිණි. කෙසේ නමුත් එය ජොෂුවාට අධ්‍යාපනය ලැබීමට පහසුවක් විය. නව ව්‍යාපෘතිය හරහා ජොෂුවාගේ ජීවිතය වෙනස් කිරීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත් වන බව රොබෝ යන්ත්‍ර යොදා ගනිමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ව්‍යපෘතියට සම්බන්ධ අධ්‍යාපනඥ ටොර්ස්ටින් කූහේ පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?