අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීරණය කළා.
ඒ, අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් අගෝස්තු මස 07 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය නියම කරනු ලැබුවා.
මෙම පෙත්සම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී රාජිත සිනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත්, එය මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළා.
එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු මහේස්ත්‍රත්වරිය විසින් ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ඒ, අනුව මහේස්ත්‍රත්වරියගේ මෙම නියෝගය ඇප පනතේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවත්, ඒ අනුව එය ප්‍රතිශෝධනය කර තම සේවාදායකයා ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙසත්, ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කරනු ලැබුවා.
මෙම පෙත්සමට අදාළ නොතිසි නිකුත් කර විභාගයක් පවත්වනතුරු තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය වග උත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීන්දු කළා.
ඒ, අනුව පෙත්සම යළි අගෝස්තු මස 07 වනදා කැඳවීමට නියමිතයි.





