පසුගිය පාලන සමයේ පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (10) ඉවත්වන බව දැනුම් දුන්නා.
පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූවා.
ඒ අවස්ථාවේ විනිසුරුවරිය විසින් තමන් පෙත්සම විභාග කටයුත්තෙන් ඉවත් වන බව දැනුම් දුන්නා.
ඒ අනුව පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ මාර්තු 9 වැනිදා කැඳවන බව විනිසුරු මඬුල්ල පවසා සිටියා.
පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු කිහිපයක් පිරවීමට අපොහොසත් වීම හේතුවෙන් යුක්තිය පසිඳලීම සඳහා විනිසුරුවරුන්ගේ හිඟයක් ඇති වී ඇති තිබෙන බව ද පෙත්සමෙන් අවධාරණය කර තිබෙනවා.
ඒ තුළින් ජනතාවගේ අධිකරණ බලය දැඩි ලෙස හෑල්ලූවට ලක් කර ඇති අතර යුක්තිය ප්‍රවේශ වීමට මහජනතාවගේ අයිතියට අවහිර කර ඇති බව ද පෙත්සම්කරු පවසනවා.
පෙත්සම්කරු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2B(අ) ව්‍යවස්ථාවේ ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කිරීමේ බලය ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම යුතුකම බවයි.
පෙත්සමේ වගඋත්කරුවන් ලෙස නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා සිල්වා මහත්මිය පෙනී සිටියා.