සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් විසින් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගිනි තබා මුහුදුබත් කර ඇති බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසනවා.
සීෂෙල්ස් මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගෙන ඇති එම බහුදින ධීවර යාත්‍රාව මෙලෙස ගිනි තබා විනාශකර ඇති බවයි සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු සඳහන් කළේ.
පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා ධීවරයින් 06 දෙනෙකු සමඟ වෙන්නප්පුව – වෙල්ලමංකරය ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති “ඉෂානි 01” නම් බහුදින ධීවර යාත්‍රාව පසුගිය දෙසැම්බර් මස 30 වනදා සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ධීවරින් පිරිස සමඟ අත්අඩංගුවට ගෙන ඇති “ඉෂානි 01” බහුදින ධීවර යාත්‍රාව, එම ආරක්ෂක නිලධාරීන් විසින් මුහුදේදීම ගිනි තබා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් රුපියල් කෝටි 04ක පමණ පාඩුවක් තමන්ට සිදුවී ඇති බවත්, මුහුදු සීමා උල්ලංඝනය කළ තම ධීවරයින්ට නීතිමය දඩුවමක් ලබා දුන්නාට විරෝධයක් නොමැති නමුත්, මේ ආකාරයට යාත්‍රාව ගිනි තබා විනාශ කිරීම කණගාටුවට කරුණක් බවයි යාත්‍රාවේ හිමිකරු සුසිල් ප්‍රනාන්දු සඳහන් කළේ.




