ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති හමුවුණා.
එහිදී මෙරට වත්මන් ආර්ථිකය මෙන්ම මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඇති වි තිබෙන තත්ත්වය පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා.
ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ තානාපති සේවය ආරම්භ කර ගෙවී ගිය වසර 70ක කාලය තුළ මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වැනි සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍ර නඟා සිටුවීමට ස්විට්සර්ලන්තය දායකත්වය සැපයූ බව සිහිපත් කළ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති එම සහයෝගය බෙහෙවින් අගය කරන බවද සඳහන් කළා.
මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අගය කරන බව සඳහන් කළ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීමට සහ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බවද සඳහන් කර සිටියා.
මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) ජස්ටින් බොයිලට් ද සහභාගී වුණා.



