AFC Banner
Empty Ad
Empty Ad

මාතර තාරකා කොටුවෙන් මිනිස් අස්ථි කොටස් ඇතුලු කෞතුක භාණ්ඩ හමුවෙයි

මාතර තාරකා කොටුව පරිශ්‍රයේ තිබී ලන්දේසි යටත් විජිත යුගයට අයත් කෞතුක භාණ්ඩ කිහිපයක් හමුවී ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, කොටුව තුළ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට කම්කරුවන් කණුවක් තැබීම සඳහා වළක් හෑරීමේදී මෙම පුරාවස්තු සොයාගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී එහි තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ද ඇතුලු කෞතුක භාණ්ඩ, පෝසිලේන් කැබැල්ලක්, දුම් බටයක් සහ මැටි නිෂ්පාදන කොටස් හමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු පොලිසිය හරහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මාතර මහේස්ත්‍රාත්වරයා විසින් කෞතුක වස්තු මෙන්ම කෞතුක වස්තු ගොඩගත් වළ ද පරීක්ෂා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම කෞතුක භාණ්ඩ මාතර තාරකා කොටුවේ කෞතුකාගාරයේ තැන්පත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබූ අතර, එම ස්ථානයේ කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ගොඩගත් පුරාවස්තු ලන්දේසි යටත් විජිත යුගයට අයත් බවටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?