Empty Ad
Empty Ad
AFC Banner

මදි නොකියන්න හැමතැනින්ම බැනුම් අහන නඳුන්

කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව්වලින් පියවරෙන් පියවර ඉදිරියට යන නව පරපුරේ දක්ෂයෙක් තමයි චරිත් මධුරංග.
මේ ඔහුගේ අලුත්ම විස්තර සතිඅන්ත පුවත්පතක ලියවී තිබුණු අයුරුයි.

නාඳුනා මේ දවස්වල හොඳට බැනුම් අහනවා නේද?

ඔව්, ඔව්. නඳුන් නම් මේ දවස්වල ටිකක් බැනුම් අහනවා.

ඉතින් මේ නඳුන් ගැන මුලින්ම කතා කරමු.

නඳුන් ඉන්නෙ මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නිර්මාණයෙනේ. ඉතින් නඳුන් චරිතය මට ලැබෙන්නේ මෙහි අධ්‍යක්ෂවරයා ධනුෂ්ක රත්නායක අයියා හරහා. මට මේ ලැබිල තියෙන්නේ දුෂ්ට නසරාණි චරිතයක්. ටිකක් ජල්තර වැඩ තමයි කරන්නේ. නඳුන් චන්ඩියෙක්ගේ ගෝලයෙක්. ඉතින් ඒ චණ්ඩියට ගෝලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් අනිත් ගෝලයා කපාගෙන ඉදිරියට යන්න හදන චරිතයක් තමයි නඳුන්. ඉතින් ඒ කරන වැඩවලට මේ ටිකේ බැනුම් අහගෙන ඉන්නවා.

ඇත්ත ජීවිතේ කාවවත් කපාගෙන ඉදිරියට යන්න බලන්නේ නැහැනේ නේද?

අනේ නෑ. එහෙම නම් අදහසක්වත් නැහැ.

එහෙනම් කියමු ඔබ ඇත්ත ජීවිතේ කොයි වගේද?

ඇත්ත ජීවිතේ මම ගොඩක් මිත්‍රශීලි කෙනෙක්. දුෂ්ට, නපුරු කෙනෙක් නම් නෙමෙයි. හරිම අහිංසකයි.

ඉතින් මේ අහිංසක චරිත් මධුරංගට බනින අයට මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම මේ නාට්‍ය මේ වෙද්දි ගොඩක් දෙනෙක් බලනවා. හොඳ ප්‍රතිචාර නාට්‍යයට තියෙනවා. නාට්‍යයේ හැම චරිතයක්ම වගේ කතාබහට ලක්වෙලා තියෙනවා. ඉතින් YouTube හරහා ප්‍රතිචාර දක්වලා තියෙනවා මගේ චරිතයට බැනලා. සමහර වෙලාවට මම FB එකට ෆොටෝ එකක් එකතු කළත් මට බනින වෙලාවල් තියෙනවා. ඒවා දැක්කම සමහර වෙලාවට මට හිනායනවා. ඒ දේවල්වලට ඉතින් මට තරහක් නම් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒ විදියට බැනුම් අහන්නේ චරිතයට සාධාරණයක් කරන නිසා වෙන්න ඇතිනේ. කොහොමත් ප්‍රේක්ෂකයොත් දන්නවානේ මේ කරන්නේ චරිතයක් කියලා. ඔවුනුත් ඉතින් විහිළුවට බනින්නේ. ඒ හරහා ඒ අයත් විනෝදයක්නේ ලබන්නේ. ඉතින් ඒ විදියේ ප්‍රතිචාර ලබද්දි සතුටක් තමයි ඇති වෙන්නෙ මට නම්.

මේ නාට්‍යය කණ්ඩායමත් එක්ක යන ගමන කොහොමද?

ඇත්තටම මට මේ ලැබුණේ ලොකු අවස්ථාවක්. මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මොකද ධනුෂ්ක රත්නායක කියන්නේ තරුණ පරපුරේ ඉන්න දක්ෂ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම මෙහි තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි කියන්නේ ඉතා දක්ෂ රචකයෙක්. මේ දෙන්නාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු දෙයක්. ඒ වගේම මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්. ඒ පිරිසත් එක්ක වැඩ කරන්න ලැබීම මට ලොකු අත්දැකීමක් වුණා. කණ්ඩායමක් විදියට ඉතා සහයෝගයෙන් හැම දෙනාම මේ වැඩ කටයුත්ත කරගෙන යනවා. විශේෂයෙන් කියන්න ඕනෑ මේ නිර්මාණය වෙනුවෙන් චරිත තෝරාගැනීම නිවැරදිම විදියට කරලා තියෙනවා කියලා හිතෙනවා ලැබෙන ප්‍රතිචාරවලින්ම. ඒ වගේම මහේෂ් අයියා ඒ චරිත ලස්සනට ගොඩනඟනවා. ඒ අදාළ වචන පවා අලංකාර විදියට යොදලා තියෙනවා ප්‍රේක්ෂකයන්ට රස වින්දනයක් ලබා දෙන්න. අපිට වුණත් තිර පිටපත කියවද්දීම ආසා හිතෙනවා. ඒ තරම් ලස්සන පිටපතක් අපිටත් එන්නේ. ඒ හැමදේම එක්ක හැම චරිතෙකටම අයිඩින්ටි එකක් දීලා තියෙනවා. ධනුෂ්ක අයියා ඒ පිටපත ඉතා හොඳින් අධ්‍යක්ෂණය කරනවා. ඒ හැමදේම එක්ක තමයි මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න හැම චරිතයකටම හොඳම ප්‍රතිචාර ලැබෙන්නේ.

චරිත්ගෙ අරමුණ වුණේ රංගන ශිල්පියෙක් වීමමද?

මම පුංචි කාලේ ඉඳන්ම කලාවට ගොඩක් කැමතියි. ඒ නිසාම ඒ කාලේ කලාවට සම්බන්ධ වෙලා වැඩ කළා. මම පාසල් දෙකකට ගියා. ඒ ගාල්ල සිරිධම්ම විද්‍යාලයට සහ ගාල්ල මහින්ද විද්‍යාලයට. ඉතින් මේ පාසල් දෙකේම නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. පාසල් නාට්‍ය, ළමා රාජ්‍ය නාට්‍ය උළෙලවලට, ඒ හැමදේටම සම්බන්ධ වුණා. ඒ නාට්‍ය තරග තුළින් ජයග්‍රහණ රැසක් ලබාගන්න හැකිවුණා.
හොඳම නළුවා සම්මානය පස් වතාවක් වගේ ලැබිලා තියෙනවා. 2008 වසරේ සිට වගේ නාට්‍ය උළෙලවලට සම්බන්ධ වුණේ. ඉතින් ඒ කාලෙදිත් ඕනෑ වුණේ කලාවට සම්බන්ධ වෙන්න. රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් වෙන්න ලොකු කැමැත්තක් තිබුණේ.

කලාව පැත්තෙන්ම ඉදිරියට යන්නද උසස් අධ්‍යාපනය කළේ?

මම උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන් වුණත් නාට්‍යය හා රංග කලාව විෂයක් විදියට නම් කළේ නැහැ. මම කළේ ආර්ථික විද්‍යාව, සිංහල සහ තර්ක ශාස්ත්‍රය. ඒ තුළින් මට A සාමාර්ථයක් සහ B සාමාර්ථ දෙකක් තියෙන්නේ. ඉතින් මම විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තේ කලාව නෙමෙයි. ටුවරිසම් මැනේජ්මන්ට් උපාධියක් තමයි මම හැදෑරුවේ. නමුත් මම ඒ අංශයෙන් ඉදිරියට යන්නේ නැතිව නැවතත් කලාවට සම්බන්ධ වුණා. ඒ මගේ වැඩි කැමැත්ත ඒ අංශයට නිසාම. පසුව මම මහරගම තරුණ සේවා සභාවෙත්, කැලණිය විශ්වවිද්‍යාලයෙත් Film and Television පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. එතැනින් පසුව තමයි කොළඹට නාට්‍යවලට එන්නේ.

දැන් කලාව දිගටම කරගෙන යාමේ සිතිවිල්ලක්ද තියෙන්නේ?

මම ඇත්තටම කැමති කලා ක්ෂේත්‍රයේ දෙයක් කරගෙන ඉදිරියට යන්න. මම දැනටත් Black Lotus කියන වෙළඳ ප්‍රචාරණ ආයතනයේ වැඩ කරනවා. එහි කරගෙන යන්නෙත් කලාවට සම්බන්ධ දේවල්නේ. ඉතින් මේ හැමදෙයක්ම ඉගෙන ගනිමින් මේ ක්ෂේත්‍රයේ දෙයක් කරන්න තමයි හිතන්නේ දැන්. ඉතින් මගේ ආයතනයෙනුත් ලොකු සහයෝගයක් ලබාදෙනවා මේ වෙද්දි මගේ මේ වැඩ කටයුතුවලට. මම හිතනවා මට කුසලතාවක් තියෙන්නේ කලාව පැත්තට තමයි කියලා. ඒ නිසා මේ අංශයේ දේවල් ඉගෙනගෙන රංගනය, පිටපත් රචනය, අධ්‍යක්ෂණය එක්කත් හෙමින් ලස්සන ගමනක් යන්න හිතාගෙන ඉන්නවා.

ඔබේම නිර්මාණයන් ඉදිරිපත් කරලා තියෙනවද?

ඔව්, මම මෑතකදී පුංචි තිරයට එකතු වුණත් කලකට පෙර සිට වගේ වේදිකාවට සම්බන්ධ වෙලා හිටියා. මගේම නාට්‍ය නිර්මාණයක් කරලා තියෙනවා. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලටත් කෙටි නාට්‍යයක් කළා ‘අංකලුයි මමයි’ කියලා. ඒවත් එක්කම රාජිත දිසානායක අධ්‍යක්ෂවරයාගේ අලුත්ම නිර්මාණයකටත් ප්‍රවීන රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයාගේ නිර්මාණයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවත් එක්ක වේදිකාවේ වැඩ කිහිපයක් තියෙනවා කරගෙන යන්න. වේදිකාවේ ඒ වැඩත් එක්ක ටෙලි නිර්මාණ දෙක තුනකිනුත් ඉදිරියේදී දකින්න ලැබෙයි. මගේම නිර්මාණත් එළිදක්වන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒවා ටිකින් ටික සැලසුම් කරගෙන යනවා.

මේ දේවල්වලට පවුලෙන් ලැබෙන සහය කොහොමද?

පවුලේ මම තමයි එකම දරුවා. අම්මයි, තාත්තයි මට මම කැමති විදියේ ගමනක් යන්න අද වෙනකම් ඉඩ දීලා තියෙනවා. ඒ සහයෝගය ලොකු ශක්තියක් වෙලා තියෙනවා මගේ මේ ගමනට.

ධනු විජේරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?