රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.
අද (29) පෙරවරුවේ මෙම පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමේ අරමුණින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කාලයක සිට උපාධිධාරීන් හට නිසි පරිදි රැකියා නොලැබුණු බව සඳහන් කරමින් ඔවුන් සැකසූ ලිපියක් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එහි නිලධාරීන් වෙත භාර කර තිබෙනවා.
ජනාධිපතිවරයා සමග ඉදිරි දිනක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමටත් කටයුතු කරන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පැමිණි පිරිසට දන්වා ඇත්තේ.
නව ජනාධිපතිවරයා පැවසුවේ බලයට පත්වීමට පෙර නම්; තමන් ජනපති වූ වහාම රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු විසඳන බවට වුව ද, බලයට පත් ව මාස දෙකක් ගත වුව ද, මේ සම්බන්ධයෙන් කිසිවක් අදහස් පළ නොකරන බවටයි රැකියා විරහිත උපාධිධාරීන් චෝදනා කරන්නේ.