AFC Banner
Empty Ad
Empty Ad

පානදුර ඝා%තනයේ ඇත්ත කථාව මෙන්න

පානදුර හිරණ මාර්ගය ඔස්සේ පල්ලිමුල්ල දෙසට වේගයෙන් ධාවනය වන පල්සර් වර්ගයේ යතුරුපැදියකි. යතුරුපැදියේ ගමන් ගත් තරුණයෝ දෙදෙනාම මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළඳ සිටිති. යතුරුපැදිය පිටුපස සිටි තරුණයා කළු පැහැති විශාල බෑගයක් ඔඩොක්කුවේ තබාගෙන සිටියේය.

පානදුර හිරණ මංසන්ධියෙන් ගාලූ පාරට හැරවූ යතුරුපැදිය මාර්ගය අසල නතර කළේය. තොරතෝංචියක් නොමැතිව ධාවනය වන වාහන අතර ධාවනය වෙමින් තිබූ එක්තරා ත‍්‍රිරෝද රථයක් හඳුනාගත් යතුරුපැදිකරුවන් දෙදෙනා එය ලූහුබඳින්නට වූහ. දිනය ජනවාරි 25 වැනිදා ය. වේලාව උදෑසන 8.30 පසු වී තිබිණි. ඒ වන විට පානදුර පල්ලිමුල්ල ප‍්‍රදේශය ජනාකීර්ණ වී තිබුණේය. ත‍්‍රිරෝද රථය ලූහුබැඳ ආ යතුරුපැදිය පානදුර පල්ලිමුල්ල ප‍්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට දී මඟ හරස් කර නතර කළේය. සිදුවන්නට යන්නේ කුමක් දැයි සිතාගත නොහැකිව අවට සිටියවුන් දෑස් අයාගෙන බලා සිටියහ. යතුරුපැදියෙන් බැසගත් තරුණයා තමන් අත වූ කළු පැහැති බෑගය විවෘත කර ටී. 56 ගිනි අවියක් පිටතට ගත්තේය. ත‍්‍රිරෝද රථයේ රියැදුරු සහ තරුණයන් දෙදෙනකු වූහ. ටී. 56 අවිය අත තිබූ තරුණයා ත‍්‍රිරෝද රථයේ පිටුපස සිටි තරුණයන් දෙදෙනා වෙත එය එල්ල කළේය.

‘‘මේ පැත්තෙ ඉන්න එකාට ගහපං’’ යතුරුපැදිය ධාවනය කරමින් සිටි තරුණයා අනෙකාට උපදෙස් දුන්නේය. සැනෙකින් ටී. 56 ගිනි අවිය ක‍්‍රියාත්මක වුණේය. මුළු පානදුරයම දෙදරුම් කවමින් පිට වූ ටී. 56 උණ්ඩ ත‍්‍රිරෝද රථය පිටුපස සිටි තරුණයාගේ සිරුර විනිවිද යමින් ගමන් කළේය.

රථයේ සිටි අනෙක් තරුණයන් දෙදෙනා ඉන් බැස පණ බේරා ගැනීමට හිස් ලූ ලූ අත දුවන්නට වූහ. කිසිම කලබලයක් නැත. ත‍්‍රිරෝද රථයේ සිටි තරුණයාට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා බිම වැටී තිබූ බෑගය ද ගෙන යතුරුපැදියට නැඟ ගත්තේය. බටහිර චිත‍්‍රපටයක ත‍්‍රාසජනක ජවනිකාවක් මෙන් සියල්ල දිස්වෙයි. සිය ඉලක්කය සපුරාගත් ඝාතකයන් ටී. 56 ගිනි අවිය ද අමෝරාගෙන යතුරුපැදියේ නැඟී පවනට බඳු වේගයෙන් ගාලූ පාර ඔස්සේ අතුරුදන් වූහ. ප‍්‍රහාරයට ලක් වූයේ ලක්‍ෂිතය. දන්නා හඳුනන හැම කෙනාම ලක්‍ෂිතට කතා කළේ ‘ලසා’ කියාය. ලසා රැකියාව විදිහට කළේ ධීවර රස්සාව ය. එක්දරු පියකු වූ ලසා පානදුර ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටියේය. ලසා තම මිතුරන් දෙදෙනකු සමඟ මොරටුව ප‍්‍රදේශයට ගොස් තිබුණේ ත‍්‍රිරෝද රථයක් අලූත්වැඩියා කර ගැනීමටය. ප‍්‍රහාරයට ලක් වූයේ ඔවුන් ආපසු පානදුරය බලා එමින් සිටියදී ය. ප‍්‍රහාරයෙන් ලසා එම ස්ථානයේම මිය ගියේය. ලසාගේ කල්‍යාණ මිත‍්‍රයා වූ මනුරංග ප‍්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේය.

මහදවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදි නිරායුධ පුද්ගලයකු ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඝාතකයන් නිරුපද්‍රිතව පලා යෑම පොලිසියට එල්ල කළ අභියෝගයක් බඳු විය. පාතාල සාමාජිකයන් සතු අවි ආයුධ භාර දෙන ලෙස රජය නියෝගයක් කර දින කීපයක් ගත වන්නටත් පෙර මේ ආකාරයට ප‍්‍රසිද්ධ ස්ථානයක පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීම ඉතාම බරපතළ කි‍්‍රයාවක් විය. ඝාතකයන් සෙවීමේ විමර්ශන ආරම්භ වන්නේ එතැන් සිටය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මෙම ඝාතනය සිදු වූ ස්ථානය නිරීක්‍ෂණය කර තම සෘජු අධීක්‍ෂණය යටතේ අපරාධකාරයන් ඇල්ලීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කළේය. කළුතර දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ඞී. කේ. ප‍්‍රියන්ත පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශන කණ්ඩායම් 6 ක් සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළේය.

ඒ වන විට මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විවිධ කටකතා පානදුර ප‍්‍රදේශය පුරා පැතිර යමින් තිබුණේය. කුඩු ආරවුලක් මත මේ ඝාතනය සිදු වූ බව පිරිසක් කියන්නට වූහ. තවත් පිරිසක් කීවේ ඝාතනය කිරීමට සිටි පුද්ගලයා නොව වෙනත් තරුණයකු මැරුම් කෑ බවය. ගෑනු හුටපටයක් මේ ප‍්‍රහාරය පිටුපස තිබෙන බවට කටකථාවක් ද පැතිර යමින් තිබුණේය. මේ ප‍්‍රහාරය එල්ල වන්නේ ටවුන්එක කිට්ටුව. මේ පාරවල්වල හුඟක් තැන්වල සී.සී.ටී.වී කැමරා තියෙනවා. ප‍්‍රහාරයට ආපු සෙට්එක කොහෙන්ද ආවේ, වෙඩි තියලා කොහෙටද ගියේ කියලා අපිට මේ සී.සී.ටී.වී. කැමරා චෙක් කරලා හොයාගන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඝාතකයන් පැමිණි ආකාරය සහ ඔවුන් පලාගිය අයුරු සෙවීම සඳහා වෙනම පොලිස් කණ්ඩායමක් යොදවන ලෙස උපදෙස් දුන්නේය. මේ අතර ඝාතනයට ලක් වූ ලසා ගමන් කළ ත‍්‍රිරෝද රථයේ සිටි තරුණයන්ගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා තවත් පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබීය. මේ ආකාරයට පොලිසියට අභියෝග කළ මේ මිනීමැරුමේ සුලමුල සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යෙදවීමට කටයුතු කෙරුණේය. ලසාගේ බිරිඳගෙන් ප‍්‍රශ්න කිරීමේදී වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලිසිය සමත් වුණේය.

‘‘අනේ සර්… මගේ මිනිහ අහිංසකයි. ජීවත් වෙන්න කළේ ධීවර රස්සාව. අපි බොහොම දුක් මහන්සිවෙලා හම්බකරන සල්ලිවලින් ජීවත් වුණේ.

ඒත් පසුගිය කාලෙ මගේ මහත්තයා හිටිය ගමන් මට ලක්‍ෂ එකහමාර දෙක සල්ලි ගෙනත් දෙන්න පටන් ගත්තා. ධීවර රස්සාවට අමතරව තවත් පොඩි බිස්නස් එකක් කරනවා කියලා එයා කිව්වා. මුලින් එයා මට ඒ ගැන කිව්වේ නැහැ. ඒත් පස්සෙ මං දැන ගත්තා ඉන්දියාවෙ ඉඳලා බෝට්ටුවලින් ගේන කේරළ ගංජා, පානදුරේට ගේන්නෙ මගේ මහත්තයයි තවත් තුන්හතර දෙනෙකුයි කියලා. ලසාගේ බිරිඳගෙන් ප‍්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විමර්ශන පැවැත්වූ පොලිසිය මනුරංග ද අත්අඩංගුවට ගත්තේය. ලසා ඝාතනය වන අවස්ථාවේ ත‍්‍රිරෝද රථයේ සිටි තරුණයන් දෙදෙනාගෙන් එක් අයකු වන මනුරංග මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකි. කලක් බන්ධනාගාරගතව සිටි මේ පුද්ගලයා ඇප මත මුදාහැරීමෙන් පසු පානදුරයට පැමිණ ලසා සමඟ එක්ව විවිධ ව්‍යාපාර කරන්න පටන් ගත් අයෙකි.

මනුරංගගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී මේ ඝාතනයට හේතු පාදක වූ වැදගත් කරුණු කාරණා රැසක් හෙළිවන්නට පටන් ගත්තේය. විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට මලිඳු නමැත්තා ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. පානදුර ප‍්‍රදේශයේ වැදගත් පවුලක හැදී වැඩුණු මලිඳු පසු කලෙක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට අත ගැසුවේය. මලිඳුගේ සොහොයුරන් මෙන්ම පවුලේ සාමාජිකයන් වැදගත් රැකියාවල නිරත වුවද මොහු මේ දහජරා රැකියාවට අත ගසන්නේ කෙටි කාලයක් තුළ කෝටිපති ව්‍යාපාරිකයකු වීමේ සිහින මවමින් ය.

මලිඳු මීට මාස කීපයකට උඩදී රට හැර යන අතර, පොලිසිය සැක කරන්නේ මොහු මේ වන විට ඩුබායි හෝ ඔස්ටේ‍්‍රලියාවේ සැඟවී සිටිනවා කියා ය. මොරටුව, කළුතර, පානදුර, මතුගම ඇතුළු ඒ අවට ප‍්‍රදේශ රැසක හෙරොයින් මෙන්ම කේරළ ගංජා බෙදාහැරීමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මලිඳුය. විදේශගතව සිටින මලිඳු මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරටට එවනු ලබන අතර ඒවා වත්තල මුහුදු තිරයේදී වෙනත් බෝට්ටුවලට පටවනු ලබයි. අරුණානන්දන් මලිඳුගේ සමීපතම මත්ද්‍රව්‍ය ජාවාරම් සහකාරයාය. බත්තරමුල්ලේ සුවිසල් නිවසක පදිංචිව සිටිමින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අරුණානන්දන් කුප‍්‍රකට ජීවිතයක් ගත කරමින් සිටින පුද්ගලයෙකි.

මලිඳු විසින් එවනු ලබන හෙරොයින් සහ කේරළ ගංජා තොග පිටින් වත්තලදී ලබාගෙන ඒවා නැවත මුහුදු මාර්ග ඔස්සේ ම පානදුර වෙරළ තීරයට යැවීමේ කාර්ය අරුණානන්දන් විසින් කරනු ලබයි. වත්තල මුහුදේ සිට ධීවර බෝට්ටුවල පටවාගෙන හෙරොයින් සහ කේරළ ගංජා පානදුර මුහුදු තීරය වෙත රැගෙන යෑමේ කටයුතු සිදු කළේ ලසා සහ ඔහුගේ කල්‍යාණ මිතුරු වූ මනුරංග ය. කාලයක් තිස්සේ මොවුන් මේ ජාවාරම කරගෙන ගිය අතර ඒ හරහා විශාල මුදලක් උපයා ගත්තේය. හෙරොයින් සහ කේරළ ගංජා තොග ප‍්‍රවාහනයේදී එක් ගමන් වාරයක් වෙනුවෙන් ලසාට රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසත්, ලක්‍ෂ දෙකත් අතර මුදලක් ලැබී තිබිණි.

ඒ හා සමානම මුදලක් මනුරංගට මෙන්ම මොවුන් සමඟ මේ ධීවර බෝට්ටුවේ රැකියාව කළ සෙසු සාමාජිකයන්ට ද ලැබිණි. ලසා සහ මනුරංග ගනුදෙනු කළේ වත්තල අරුණානන්දන් සමඟය. කාලයක් තිස්සේ මේ රැකියාව කළ ද පසු කලෙක මොවුන් අතර ගනුදෙනු සම්බන්ධයෙන් ආරවුල් මතුවන්න පටන් ගත්තේය. දෙන්නම් කාසිවලට අවස්ථා කීපයකදී ම ලසා සහ මනුරංග මත්ද්‍රව්‍ය තොග වත්තල සිට ධීවර බෝට්ටුවලින් පානදුරය දක්වා රැගෙන ගොස් තිබිණි. තමන්ට අයවිය යුතු මුදල් ගැන විමසීමට ගිය අවස්ථාවලදී අරුණානන්දන් සහ මනුරංග අතර නිතර ආරවුල් ඇති වන්නට පටන් ගත්තේය.

‘‘බොසා ගැන විශ්වාස කරලනෙ අපි මේ වැඩ කරලා දුන්නේ. අනික අපි නේවි එකට මාට්ටු උනොත් අවුරුදු ගාණකට එළියට එන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ගනුදෙනු ටික හරියට බේරන්න. අපිත් ඕගොල්ලො වගේ කාල බීලා ජීවත් වෙන්න එපායැ’’

මනුරංග සහ අරුණානන්දන් අතර මේ ගනුදෙනු ආරවුල් දිගින් දිගටම වර්ධනය වන්නට පටන් ගත්තේය.

‘‘හරි උඹලට කරන්න බැරි නම් අයින් වෙයල්ලා. අපිට ඕනෙ තරම් මිනිස්සු ඉන්නවා මේ වැඩ කරගන්න. හිතන්න එපා උඹලා විතරයි මේ වැඩවලට ඉන්නෙ කියලා.’’

අරුණානන්දන් මනුරංගට මෙන්ම ලසාට ද බැණ වැදුණේය. මේ ආරවුල් කෙළවර වන්නේ මනුරංග මෙන්ම ලසා ද අරුණානන්දගේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය අතහැර දැමීමත් සමඟය. ඒ වන විට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය වෙනුවෙන් මොවුන් දෙදෙනාට රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් අරුණානන්දගෙන් අය විය යුතුව තිබුණේය. ඉතාලියේ සැඟ වී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තවත් ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන ගොනාකෝවිලේ අංජුගේ සමීපතමයකු වූ දේවින්ද ඒ වන විට පානදුර ප‍්‍රදේශයේ හෙරොයින් ජාවාරමට අතගසා සිටියේය. දේවින්දට අයත් හෙරොයින් මෙන්ම කේරළ ගංජා ලැබුණේ වත්තල ප‍්‍රදේශයෙන් වන අතර ඒවා පානදුරය දක්වා රැගෙන ආවේ ධීවර බෝට්ටු මාර්ගයෙන් ය.

‘‘අරුණානන්දයට පාඩමක් උගන්වන්නත් එක්ක අපි දේවින්දට සෙට් වෙමු. උන් හොඳට ගෙවනවා. අපි මේ වැඬේට අත
ගැහුවොත් වැඩි කල් යන්න ඉස්සර කෝටිපතියො වෙන්න පුළුවන්.’’

මනුරංග තම කල්‍යාණ මිතුරා වන ලසාට කීවේය. ඒ යෝජනාවට ඔහු ද කැමැත්ත පළ කළේය. අළුබෝමුල්ලේ පැන්සියා මනුරංගගේ මිතුරෙකි. ඔහුගේ මාර්ගයෙන් දේවින්ද දැන හඳුනා ගන්නට මනුරංගට හැකි විය. ගොනාකෝවිලේ අංජු මෙහෙයවන මත්ද්‍රව්‍ය කල්ලිය සහ විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මලිඳුගේ කල්ලිය අතර ආරවුල් පවතින්නේ කාලයක් තිස්සේ සිටය. මලිඳුගේ කල්ලියෙන් ඉවත් වූ මනුරංග සහ ලසා අංජු මෙහෙයවන දේවින්දගේ මත්ද්‍රව්‍ය කල්ලියට සම්බන්ධවීම මේ ගැටුම් තව තවත් උග‍්‍ර අතට හැරෙන්නට තුඩු දුන්නේය.

‘‘ඔය මනුරංගය කියන එකා අයින් කරලා දාන්න ඕනෙ. උන් අපට කනට ගැහුවා වගේ වැඩක් කළේ. අනිත් උන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මූට හොඳ වැඩක් දෙමු.’’

මනුරංග තම කල්ලියෙන් ඉවත් වී විරුද්ධවාදීන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීම කෙරෙහි දැඩි වෛරයකින් පසු වූ මලිඳු ඔහු විනාශකර දැමීමට සැලසුමක් සකස් කළේය. සුද්දා සහ තරංග මලිඳුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රබලයන් වූහ. මලිඳු ශ‍්‍රී ලංකාවට එවන හෙරොයින් තොග කළුතර ඇතුළු ඒ අවට ප‍්‍රදේශවලට බෙදා හැරීමේ කාර්ය සිදුකළේ සුද්දා සහ තරංගගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ය. මතුගම ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝග‍්‍රෑමයක් සමඟ අත්අඩංගුවට පත් වූ සුද්දා සහ තරංග මේ වන විට සිටින්නේ කළුතර බන්ධනාගාරයේ ය.

මනුරංග පරලොව යැවීමේ සැලසුම ක‍්‍රියාත්මක කිරීමේ කාර්ය මලිඳු විසින් භාරදුන්නේ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සුද්දා වෙත ය.

බන්ධනාගාරවලට මොන තරම් නීති රීති පනවා ආරක්‍ෂාවක් ලබා දී තිබුණ ද, ධනවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒ නීති රීති ක‍්‍රියාත්මක වුණේ නැත. කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සුද්දාට ජංගම දුරකථන පරිහරණය කිරීමේ අවස්ථාව උදා වී තිබුණේය. ඒ සුද්දා අත දිගහැර මුදල් වියදම් කරන නිසා ය. බන්ධනාගාරයේ සිටි සුද්දා, සිය ජංගම දුරකථනයෙන් ලෝකයටම කතා කළේය. විදේශගතව සිටින මලිඳු කළුතර බන්ධනාගාරයේ දැඩි රැකවල් මැද සිටින සුද්දාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේය.

‘‘අපේ බිස්නස් වැටෙන්න දෙන්න බැහැ.

ගොනාකෝවිලේ අංජුයි, දේවින්දයි කළුතර, පානදුරේ පැත්තේ බිස්නස් කරන්න ගියොත් අපට උඩ බලාගෙන ඉන්න වෙන්නේ. මනුරංග කියන එකා උන්ට එකතුවෙලා. ඌව අයින් කරන්න වැඩක් සෙට් කරන්න. යන වියදම් සේරම මං දෙන්නම්……’’

මලිඳු විදේශගතව සිට කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සුද්දාට කීවේය.

‘‘ලොක්කා කිසි දේකට බයවෙන්න එපා. මං ඒ සේරම ලෑස්ති කරන්නම්. අපි ඇතුළට කොටු කරලා තිබ්බට එළියෙ ඕනෙම දෙයක් හැන්ඞ්ල් කරන්න පුළුවන්.’’

සුද්දා තම හෙරොයින් කල්ලියේ ප‍්‍රධානියාවූ මලිඳුට කීවේය. මනුරංග පරලොව යැවීමේ සැලසුම ක‍්‍රියාත්මක කිරීමට සුද්දා අත ගසන්නේ එතැන් සිටය. පාතාල ලෝකයේ කල්ලි කීපයක් සමඟම සමීප සබඳතා ඇති සුද්දා ඒ සම්බන්ධතා ඔස්සේ පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙක් මේ ප‍්‍රහාරය සඳහා සම්බන්ධ කර ගත්තේය. මනුරංගගේ ගමන් බිමන් පිළිබඳව ඔත්තු බැලීමේ කාර්යය සඳහා ද තම කල්ලියේ සාමාජිකයන් කීපදෙනෙකු යෙදවීමට සුද්දා කටයුතු කළේය. මනුරංග ඝාතනය කිරීමට දිනයක් ද යොදා ගත්තේය. කුලී ඝාතකයන් දෙදෙනා පානදුර නගරය ආසන්නයේ රඳවා තැබීමට සුද්දාට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයන්නට පටන් ගත්තේය.

පානදුර හිරණ පාරේ නිවසක පදිංචිවී සිටි විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියකුගේ පුත‍්‍රයකු වන කසුන් සුද්දාගේ සමීප මිතුරෙකි. සුද්දාට එක්වරම කසුන්ව සිහිවුණේය. කසුන් මල්ලි මට පොඩි උදව්වක් කරන්න ඕනෙ. මගේ කොල්ලො දෙන්නෙක් එනවා පානදුරේ පොඩි වැඩකට. උන් දෙන්නට දවස් හතර පහක් නතර වෙන්න තැනක් සෙට් කරලා දෙන්න ඕනෙ. යන වියදම් සේරම මං දෙන්නම්.’’

දුරකථනයෙන් කසුන්ට කතා කළ සුද්දා තම අවශ්‍යතාව ඔහුට කීවේය.

‘‘හිරණ පාරේ අපේ වහලා දාපු ගෙයක් තියෙනවා. මං ඒක ලෑස්ති කරලා දෙන්නම්. කිසි දේකට බයවෙන්න එපා. සුද්දා උඹ මට කොච්චර උදව් කරලා තියෙනවද?’’

සුද්දා ඉල්ලූ උපකාරය කර දීමට එකඟ වූ කසුන් හිරණ පාරේ තිබූ තම පියාට අයත් වසා දමා තිබෙන නිවසක කාමරයක් ලබා දීමට කැමැත්ත පළ කළේය. සුද්දා තම මවට දුරකථනයෙන් කතා කර රුපියල් විසි දහසක මුදලක් කසුන්ට ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව සුද්දාගේ මව කසුන්ගේ නිවස සොයා ගොස් ඔහු අත රුපියල් විසිදහසක මුදලක් තැබුවේය. ජනවාරි 21 වැනිදා දහවල් නාඳුනන තරුණයන් දෙදෙනෙක් කසුන් සොයා පානදුර හිරණ පිහිටි ඔහුගේ නිවස වෙත ආහ.

‘‘සුද්ද තමයි අපට මෙහෙට එන්න කිව්වේ. අපි කොහෙද නතර වෙන්නේ.’’

නාඳුනන තරුණයන් දෙදෙනා වසා දමා තිබූ හිරණ පාරේ පිහිටි නිවස වෙත කැඳවාගෙන ගිය කසුන් එහි කාමරයක ඔවුන්ට නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය. මනුරංග ඝාතනය කිරීමේ සැලසුම ක‍්‍රියාත්මක කිරීමට පැමිණි ඝාතකයන් දෙදෙනා කසුන්ගේ නිවසේ කාමරයක නවාතැන් ගත්හ. ඔවුන්ට තුන්වේලට අවශ්‍ය කරන ආහාර පාන කසුන් විසින් ම පිළියෙළ කර දුන්නේය. ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා යෑමට අවශ්‍ය පල්සර් යතුරුපැදිය සහ ටී. 56 ගිනි

අවිය ද ඝාතකයන් වෙත ලබා දීමට සුද්දා කටයුතු කළේ බන්ධනාගාරයේ බිත්ති හතර අතර සිටය. මනුරංග පිළිබඳව තොරතුරු සෙවීමට පත් කර සිටි ගෝලබාලයන් සුද්දාට සියලූ තොරතුරු වාර්තා කළහ. විදේශගතව සිටි මලිඳු සහ සුද්දා අතර දෛනිකව අදහස් හුවමාරු වුණේය. සේරම ලෑස්ති කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මනුරංගයව ඉවර කරලා දාන එක විතරයි. ඌට ගහන්න ඉන්ෆොමේෂන් එක ආව ගමන් අපි වැඬේ කරනවා. ඊට පස්සේ මේ වැඬේ ක‍්‍රියාත්මක කරපු උන්ගෙ ගනුදෙනු බේරලා දාමු…..’’

සුද්දා මලිඳුට කීවේය. ජනවාරි 25 වැනිදා උදෑසන සුද්දාගේ දුරකථනයට ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබුණේය. ඒ වන විට සුද්දා කුලී ඝාතකයන් දෙදෙනාට උපදෙස් දී තිබුණේ කොයි මොහොතක හෝ ක‍්‍රියාත්මක වීමට සිදුවන බැවින් සූදානමින් සිටින ලෙසය.

‘‘සුද්දා අද උදේම මනුරංගයයි ලසයි ත‍්‍රිවීල් එකක මොරටුව පැත්තට ගියා. උන් වැඩි වෙලා යන්න ඉස්සර පානදුරේට එන්න පුළුවන්’’ ඔත්තුකරුවකු ලබා දුන් තොරතුර අනුව සුද්දා කුලී ඝාතකයන් දෙදෙනා දැනුවත් කළේය. විදේශගතව සිටින මලිඳුට ද ඇමතුමක් ගත් සුද්දා තව නොබෝ වේලාවකින් මනුරංග පරලොව යවන බව දැනුම් දුන්නේය.

කුලී ඝාතකයන් දෙදෙනා පානදුර හිරණ පිහිටි කසුන්ගේ කුලී නිවසින් පිටව යන්නේ මනුරංග ඝාතනය කර තම කොන්ත‍්‍රාත්තුව අවසන් කිරීමේ අරමුණ ඇතිවය. එහෙත් කුලී ඝාතකයන්ට වැරදුණේය. කොවිඞ් වසංගතය නිසා ත‍්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි මනුරංග මෙන්ම ලසා ද මාස්ක් පැළඳ මුහුණු ආවරණ කරගෙන සිටියහ. කුලී ඝාතකයන් දෙදෙනා මනුරංග කියා වෙඩි තැබුවේ ලසාටය. මනුරංග දිවි ගලවා ගත්තේය. තම ඉලක්කය වැරදී ගොස් ඇති බව කුලී ඝාතකයන් මෙන්ම සුද්දා ද දැන ගන්නේ ලසා ඝාතනය වී පැය කීපයකට පසුවය.

‘‘ලොක්කා වැඬේ වැරදුනා. මනුරංග කියලා හිතාගෙන අපේ කොල්ලො දෙන්න ගහලා තියෙන්නේ ලසාට. දැන් කරන්න දෙයක් නැහැ. කොල්ලො දෙන්න හංගලා අපි සද්ද නැතිව ඉමු….’’

සුද්දා විදේශගතව සිටින මලිඳුට කීවේ කලකිරීමෙන් යුතුවය.

පානදුර පල්ලියමුල්ලේ ප‍්‍රහාරයෙන් පසු ඒ අවට සියලූ මාර්ගවල සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කිරීම සඳහා දේශබන්ධු තෙන්නකෝන් මහතා පත් කළ පොලිස් කණ්ඩායම වැදගත් තොරතුරු රැසක් සොයා ගත්හ. නියෝජ්‍ය පොලිස්පති ඞී. කේ. පි‍්‍රයන්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් යුතුව විමර්ශන කළ තවත් පොලිස් කණ්ඩායම් කීපයක් ප‍්‍රහාරයට අදාළ ඉතාම රහසිගත තොරතුරු රැසක් අනාවරණය කරගෙන සිටියහ.

ඝාතකයන් දෙදෙනා යතුරුපැදියේ නැඟී හිරණ මාර්ගය ඔස්සේ පානදුර නගරයට පැමිණෙන ආකාරය ඒ මාර්ගයේ පිහිටි නිවාසවල වෙළෙඳසල්වල සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරා මාර්ගයෙන් නිරීක්‍ෂණය කළ පොලිසිය මොවුන් නවාතැන් ගෙන සිටි කුලී නිවස සොයාගත්හ. මේ කුලී නිවස සොයා ගැනීමට පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් දැරූහ.

‘‘සර්… ඊයේ ටී. වී. එකේ පෙන්නපු වෙලාවෙ අපි අඳුන ගත්තා පල්ලියමුල්ලෙ ත‍්‍රීවීල් එකට වෙඩි තිබ්බෙ අන්න අර ගෙදර නතර වෙලා හිටපු කොල්ලො දෙන්නා….’’

අසල්වාසීන්ගෙන් ද ලැබුණු තොරතුරු ඔස්සේ ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඒ නිවස හිමි විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියාගේ පුත‍්‍රයා වන කසුන් අත්අඩංගුවට ගත්තේය. ප‍්‍රිසන් එකේ ඉන්න සුද්ද තමයි මට කෝල් කරලා මේ කොල්ලො දෙන්න දවස් දෙක තුනකට නතර කරගන්න මෙහෙට එව්වේ. කසුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී සුද්දා පිළිබඳව සියලූ තොරතුරු අනාවරණය වුණේය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කළුතර

බන්ධනාගාරය වෙත ගොස් සුද්දා රඳවා සිටින කුටිය පරීක්‍ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් කටයුතු කළහ.

මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පූර්ණ සහාය ලබා දී තිබුණේය.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් සුද්දා රඳවා සිටින කළුතර

බන්ධනාගාරයේ කුටිය පරීක්‍ෂා කර ඔහු පරිහරණය කරන ජංගම දුරකථනය සොයා ගත්හ. මේ ප‍්‍රහාරය පිටුපස සිටින මලිඳු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් හෙරොයින් ජාවාරමේ නිරත වන බව කීවද ඔහු සුද්දාට ඇමතුම් ලබාගෙන ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ සිට බව ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී හෙළිවිය.

සර්… මං මේ වැඬේ කළේ මලිඳුගෙ වුවමනාවට. එයා තමයි මේකට වියදම් කළේ. එයාට ඕනෙ වෙලා තිබුණෙ මනුරංගව අයින් කරන්න. ඒත් අර කොල්ලො දෙන්නට වැරදිලා. උන් ගැහුවේ අහක හිටපු එකෙකුට. මේ ඝාතනයට අදාළ සියලූ තොරතුරු මෙන්ම ඊට සම්බන්ධ වූවන් පිළිබඳ සියලූ තොරතුරු සුද්දා විසින් පොලිස් නිලධාරීන්ට ලබා දුන්නේය. ඒ තොරතුරු ඔස්සේ පොලිසිය සිදුකළ විමර්ශනයකදී ඝාතනය සඳහා යොදාගත් ටී. 56 ගිනි අවිය පානදුර කිරිබේරිය ප‍්‍රදේශයේ කනත්තක සඟවා තිබියදී සොයාගැනීමට හැකි විය.

ඝාතකයන් පැමිණි යතුරු පැදිය පානදුර ප‍්‍රදේශයට නුදුරු ඔයක ගිල්ලවා තිබියදි කිමිදුම්කරුවන් යොදාගෙන එය ගොඩ ගැනීමට පොලිසිය කටයුතු කළහ. මෙම ඝාතනය සඳහා හවුල් වූ පුද්ගලයන් හයදෙනෙකු ද පොලිස් භාරයට ගැනීමට හැකි විය. එහෙත් සිකුරාදා (29 වැනිදා) සවස් වනතුරුම මේ ඝාතනය සිදුකළ කුලී ඝාතකයන් දෙදෙනා සොයා ගැනීමට පොලිසිය සමත් වී සිටියේ නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?