AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන ආයතනවල 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසනවා.

මීට පෙර තරුණ අසහන කොමිෂන් සභාව මඟින් පළාත් පාලන ආයතන නාම යෝජනා සඳහා 25%ක තරුණ නියෝජනයක් ලබා දී තිබුණද, පසුගිය සමයේ එම අවස්ථාව අහිමි වී ගිය බව සඳහන් කළ මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත ලබාදීමට දරන මෙම ප්‍රයත්නයට සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බවයි සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙරට තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තරුණ ප්‍රජාව දායක කර ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියසිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත,

තරුණ නියෝජනය පිළිබඳ අප නිරන්තරයෙන් කතා කරනවා. අපේ රටේ කැරලි කිහිපයක්ම ඇති වී තිබෙනවා. 1971, 1989 වගේම පසුගිය කාලයෙත් තරුණ නැගිටීමක් අපි අත්දුටුවා. කෙසේ වෙතත් 1989න් පසුව තමයි අපේ රටේ තරුණයන්ට වැඩි වශයෙන් දේශපාලනයට පැමිණීමට අවස්ථාව හිමි වූණේ.

තරුණ අසහන කොමිෂන් සභාව මඟින් පළාත් පාලන ආයතන නාම යෝජනා සඳහා 25%ක තරුණ නියෝජනයක් ලබා දී තිබුණා. නමුත් අවාසනාවකට පසුගිය සමයේ කාන්තා නියෝජනය පිළිබඳ අයිතිවාසිකම ලබා දෙන අවස්ථාවේ තරුණයන්ට තිබූ එම අවස්ථාව අදාළ පළාත් පාලන පනතින් ගිලිහි ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 පළාත් පාලන මැතිවරණයේ දී තරුණ ප්‍රජාවට එම අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අනුව වයස්ගත පිරිසක් ඉදිරිපත් වූ පළාත් පාලන මැතිවරණයක් තමයි 2018 වසරේ පැවතුණේ.

පාර්ලිමේන්තුව තුළ තරුණ නියෝජනය පිළිබඳ කථා කළත් බොහෝ විට එවැනි අවස්ථා ලැබෙන බවක් අප දුටුවේ නැහැ. නමුත් පළාත් පාලන ආයතන තුළ තරුණ නියෝජනය අප දශක ගණනාවක් පුරා දුටු දෙයක්. ඒ අනුව දේශපාලන පවුල් පසුබිමක් නැති තරුණ තරුණියන් මෙරට පාර්ලිමේන්තුවට තේරි පත්ව අමාත්‍ය ධූර පවා ලැබූ අවස්ථා තිබෙනවා.

තරුණ ප්‍රජාවට නාම යෝජනාවල 25%ක් ලැබීමේ අයිතිය තහවුරු වන ආකාරයට පළාත් පාලන පනත සංශෝධනය කිරීම තමයි මෙම යෝජනාව හරහා සිදු වන්නේ. මෙම සංශෝධනය මම පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් දැන් කාලයක් ගත වී තිබෙනවා. එය පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායක කාරක සභාව තුළ මෙන්ම කැබිනට් මණ්ඩලය තුළ ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

තරුණ නියෝජනය පිළිබඳ පනත දෙවතාවක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙවර තරුණ දිනයත් සමඟම ඊළග පාර්ලිමේන්තු සැසියට මෙම යෝජනාව ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඇතැම් විට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පනතක් බවට පත්වීම දුෂ්කර වගේම දීර්ඝ කාලයක් ගතවන කටයුත්තක්. නමුත් මෙම පුද්ගලික පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පනතක් බවට පත් කිරීමට අවශ්‍ය සහාය ලබාදීම පිළිබව මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තරුණයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට එතුමා ලබාදෙන දායකත්වය අගය කළ යුතුයි.

මෙපමණ කාලයක් අපේ රටේ පැවති නමුත් පසුගිය කාලයේ අවලංගු වූ මෙම තරුණ නියෝජනය නැවත ලබා ගැනීම සදහා ආණ්ඩුව නියෝජන නොකරන අනෙකුත් පක්ෂවලින් මෙන්ම සමස්ථ සමාජය තුළින්ම සහය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?