ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට පැතුම් නිස්සංක එක් නොකිරීම සම්බන්ධයෙන් මෙරට හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය විමතිය පළ කර තිබෙනවා.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු විමසා ඇත්තේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පසුගිය තරගවල දී සාර්ථක වූ පැතුම් ව එක් නොකිරීමට හේතු කවරේද යන්නයි.
මෙම තරගයේ දී ධනංජය ද සිල්වා දක්ෂතා අතරට පැමිණීම දැකීම ද සතුටුදායක බවත් එහි සඳහන්.
එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නිශාන් මධුශංක සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරවීමටයි ක්‍රිකට් කළමනාකාරීත්වය කටයුතු කර තිබුණේ.
නමුත් ඔවුන් දෙදෙනාටම මෙම තරගයේ දී සාර්ථක වීමට ඉඩ නොලැබුණු අතර නිශාන් ලකුණු 04කටත්, දිමුත් ලකුණු 02කටත් දැවී ගියා.
වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන එක්දින සහ විස්සයි විස්ස දක්ෂතම පිතිකරුවා ලෙසයි පැතුම් නිස්සංක සැලකෙන්නේ.
කෙසේ වෙතත් ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු කෙටි කාලයක් ටෙස්ට් තරගවලට ක්‍රීඩා කළේ නැහැ.
මෙවර ටෙස්ට් සංචිතයට පැතුම් නිස්සංක ඇතුළත් ව සිටිය ද එංගලන්තය සමග පැවැත්වෙන පළමු තරගයට එක් නොකිරීමත් විශේෂත්වයක්.