AFC Banner
Empty Ad
Empty Ad

පටන් ගත්තේ මාතරින්… පාසල් දැරියන් ප‍්‍රවේශම් කරන්න

වසන්ත මාතර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. විවාහකයෙකි. වයස අවුරුදු 56 කි. හරිහමන් අධ්‍යාපනයක් නොලද මොහුට ස්ථිර රැකියාවක් නොතිබුණි.

හරිහමන් රැකියාවක් නොමැති නිසා ජීවත්වීම සඳහා මොහු විවිධ දෑ සිදු කළේය. එහෙත් ඒ කිසිවකින් ඔහු සෑහීමකට පත් නොවුණි. එයට ප‍්‍රධානම හේතුව වූයේ සිතූ තරම් මුදලක් ඒ කිසිම දෙයකින් සොයා ගැනීමට නොහැකි වීමයි. එම නිසා මොහු හොඳින් හෝ නරකින් මුදල් සෙවීමට තීරණය කළේය.

කපිල වසන්තගේ මිතුරෙකි. එම ප‍්‍රදේශයේ ජීවත් වූ ඔහු රැකියාව වශයෙන් සිදු කළේ මත්ද්‍රව්‍ය ජාවාරමයි.

දිනක් කපිල වසන්ත මුණගැසී මෙලෙස පැවසුවේය.

”මචං කපිල මට ජීවතේ එපාවෙලා තියෙන්නේ. මොන දේ කරත් හරි යන්නේ නෑ. අතේ සතයක් නෑ.”

” ඕකනේ කියන්නේ අද කාලේ හොඳින් සල්ලි හම්බ කරන්න බෑ. ජීවත් වෙන්න නම් මොනාහරි ගේමක් ගහන්න ඕනා.”

”ඒකනම් ඇත්ත. මටත් ඉක්මනින් සල්ලි ටිකක් හොයන්න මොකක් හරි සෙට් කරලා දියන්කො.”

”මං මොනව සෙට් කරන්නද?”

”එහෙම කියන්න එපා බං. දැන් උඹට හොඳට සල්ලි තියෙන්නේ. උඹ ඔය කරන දෙයකින් එකක් මටත් සෙට් කරලා දියන්.”

”උඹ දන්නවනේ මම කරන්නේ නීති විරෝධී වැඩ. උඹට පුළුවන්ද ඕවා කරන්න.”

”ඇයි බැරි. උඹ මට කැමති දෙයක් දීපන් මං කරලා පෙන්වන්න.”

‘‘හරි එහෙනම් අපි සෙට් වෙලා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරමු. අවුලක් නැතුව මාස ගාණකින් ගොඩ එන්න පුළුවන්.”

‘‘හරි මචං ඕන දෙයක්. දන්නවනේ ඉතින් මගේ හැටි. බෙල්ල කැපුවත් මම පාවා දෙන ජාතියේ එකෙක් නොවෙයි.”

කතාව එතැනින් නිම විය. ඉන් පසු කලක් යන තුරු වසන්ත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විය. එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ඔහුව කිහිපවරක් පොලිසියටද කොටුවිය.

නීතියේ රැහැනට කොටු වුණත් වසර කිහිපයක් ඔහු එම ජාවාරමේ නිරත විය. කලක් යද්දී පොලිසියෙන් බේරෙන්නටම බැරි තැන ඔහු එම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම නවතා දැම්මේය.

මාස කීපයක් යද්දී යළි වසන්තගේ අතමිට හිඟ විය. යළිත් ජීවත්වීම සඳහා කුමක් හෝ සිදු කළ යුතු යැයි ඔහු කල්පනා කළේය. ”හොඳින් සල්ලි හොයන්න බෑ නරකින්ම තමයි සල්ලි සොයන්න ඕනා.” ඒ ඔහු නිතරම සිතු දෙයකි.

සම්පත් ඔහුගේ කොළඹ ප‍්‍රදේශයේ මිතුරෙකි. ඔහුද ජීවත්වීම සඳහා සිදුකළේ නීති විරෝධී ක‍්‍රියා කාරකම්ය. දිනක් වසන්ත සම්පත්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ඒ සැප දුක් විමසීමට සහ මුදල් සෙවීම සඳහා කුමන හෝ මාර්ගයක් ඔහු හරහා පාදා ගැනීමටයි.

එහිදී සම්පත් පැවසුවේ ගණිකා ව්‍යාපාරය සඳහා පාසල් සිසුවියන් යොදවා ගැනීමට හැකිනම් විශාල මුදලක් සොයාගත හැකි බවයි. මුදල් සෙවීම සඳහා ඕනෑම නීති විරෝධී වැඩක් සිදු කිරීමට කැමැත්තෙන් සිටි වසන්ත ඒ සඳහා පෙළඹුණේය.

අමාලි මාතර වැලිගම ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. වයස අවුරුදු 14 කි. පැහැපත් පෙනුමකින් යුත් එම තරුණිය හැදී වැඩුනේ තනිවමයි. දෙමව්පියන්ද ඇය ගැන වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත.

වසන්ත ජීවත්වූයේද එම ප‍්‍රදේශයේය. ඔහු සති ගණනක් අමාලි පසුපස පැන්නුවේය. ඒ කෙලෙස හෝ ඇයව ගණිකා ව්‍යාපාරයේ යෙදවීමටයි. ඒ අනුව දින කීපයක් ඇය සමග ඉතා කුළුපගව කතා කළ වසන්ත නිවැසියන් නොමැති අවස්ථාවල එම නිවස වෙත යෑමට පුරුදු විය.

ඒ සමඟම වසන්ත ඇයට ඉතා සූක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කිරීමට පුරුදු කළේය. දෙමව්පියන්ගේ නිසි හව්හරණක් නැති එම පාසල් සිසුවිය ඉක්මනින් වසන්තගේ දැලට හසුවිය.

සති කීපයක් යද්දී ඇයට මත්පැන් සහ මත්ද්‍රව්‍ය නැතුව බැරි විය. දැන් තමාගේ වාරය පැමිණ ඇති බව වසන්ත දැන ගත්තේය.

දිනක් බීමතින් සිටි අවස්ථාවක වසන්ත ඇයට මෙලෙස පැවසුවේය.

”කෙල්ලෙ උඹ දැන් ඉගෙන ගත්තා ඇති. සල්ලි ටිකක් හොයාගන්න ඕනනේ. ඒක නිසා යමං කොළඹ. මම දන්න කෙනෙක් ඉන්නවා එයා උඹට හොඳට සලකයි. දවසට රුපියල් පන්දහක් හයදාහක් හොයා  ගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. මොකද කියන්නේ”

”දන්නවනේ දැන් මම ඕනම දෙයකට එනවා. දැන් වැදගත් මට සල්ලි. ඒ වගේම දවස ගානේ බොන්නත් ඕනා. නැත්නම් ආතල් එකක් නෑ ජීවිතේ.”

”ඒක තමයි කෙල්ලෙ මම කිව්වේ. ඉක්මනටම යමන් මම එයාව උඹට සෙට් කරලා දෙන්නම් .”

එම සංවාදය යන අතරතුර වසන්ත ගංජා සුරුට්ටුවක් පත්තු කර එම තරුණියට දුන්නේය.

වසන්ත දුන් එම ගංජා සුරුට්ටු ඇය උරුවේ ඉතා පළපුරුදු අයෙකු මෙන්ය. ඒ සමගම ඇය ගංජා උරන අයුරු වසන්ත වීඩියෝ ගත කළේය. ඒ යම් පිරිසකට එය පෙන්වීම සඳහාය.

ගංජා මතින් සිටි ඇය ”මේකෙ ආතල් එක කවුරුත් දන්නෙ නැහැ. දැන් මට හොඳටම වැදිලා ඉන්නේ.” ආදී වචන පවසමින් එම වීඩියෝවට මුහුණ දුන්නේය.

එලෙස එම සිසුවියව වීඩියෝ කර අවසන් වූ පසු වසන්ත වට්ස්ඇප් හරහා එම වීඩියෝ පටය මිතුරන් කිහිප දෙනකුට යැවුවේය. එයට අමතරව ඔහු එම පාසල් සිසුවියට පැවසුවේ ”ඇයගේ යෙහෙළියන් සිටිනවා නම් ඔවුන්වද මත්පැන් පානය කිරීම සඳහා එකතු කර ගන්නා ලෙසයි.” ඒ එම සිසුවියන්ටද මත්පැන් සහ මත්ද්‍රව්‍ය පොවා මනස විකෘති කර ගණිකා වෘත්තියේ යෙදීම සඳහා කැමති කරවා  ගැනීමටයි.

වසන්ත කොළඹ සිටින මිතුරාටද එම වීඩියෝ පටය යවා පැවසුවේ නොබෝ දිනකින්ම එම තරුණිය ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා රැගෙන එන බවයි.

දින කීපයක් යද්දී එම පාසල් සිසුවියගේ වීඩියෝපටය වට්ස්ඇප් හරහා රට පුරා විවිධ පුද්ගලයෝ අතර හුවමාරු වූහ. ඒ අතරතුර මාතර කොට්ඨාස ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන්ටද මෙම වීඩියෝ පටය පිළිබඳ තොරතුරු දැන ගන්නට ලැබුණි.

වහාම ක‍්‍රියාත්මක වූ එම නිලධාරීහු අදාළ නිවස වෙත පැමිණ වීඩියෝ පටයේ සිටින එම දැරියගෙන් ප‍්‍රශ්න කළහ. එහිදී අනාවරණය කළේ නිවසට පැමිණෙන පුද්ගලයෙක් ඇයට මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු කර මෙය සිදුකළ බවයි.

දැරියගේ තොරතුරු වලට අනුව ක‍්‍රියාත්මක වූ එම නිලධාරීහු කොළඹ ප‍්‍රදේශයේදී මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මාතර අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. කිසිදු හිතක් පපුවක් නොමැතිව පාසල් යන සිසුවියකට මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු කර ගණිකා වෘත්තියේ යෙදවීමට ක‍්‍රියා කළ එම සැකකරුවන් නීතියේ රැහැනට කොටුවී දඬුවම් ලැබුවත් මෙවැනි සිද්ධි අවසන් වේ යැයි සිතිය නොහැකිය. ඒ මන්ද යත් තවත් මෙවැනි නරුමයන් සමාජයේ සිටින බැවිනි. එලෙසම මෙම සිද්ධියේදී එම දැරියට සිදු වූ දේ සම්බන්ධයෙන් එම දැරියගේ දෙමව්පියන් ද වගකිව යුතුය. ඒ මන්ද යත් සැකකරු එම පාසල් සිසුවියට මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු කර ඇත්තේ එම නිවස තුළදීමය. එම නිසා දෙමවුපියනි මොන රාජකාරි තිබුණත් ඔබගේ දරුවන් ගැන දැඩි අවධානයෙන් සිටින්න.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාස ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියගේ උපදෙස් මත මෙම පරීක්ෂණය සිදු කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?