AFC Banner
Empty Ad
Empty Ad

පකිස්තානයට පාරාවළල්ලක් වූ තලේබාන්ලාට කිරි පෙවීම

සැප්තැම්බර් 11වැනිදා ප්‍රහාරය ලෙසින් ප්‍රකට 2001 එම දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයෙන් මාසයක් ගත වූ පසු ඇෆ්ගනිස්තානයට එරෙහිව එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර දියත් කළේය. එක්සත් ජනපදය සහ ජාත්‍යන්තර හමුදා පහර දෙන්නට පටන් ගෙන මාස දෙකක් ගත වෙද්දී තලේබාන් රෙජීමය බිඳ වැටුණි. එහි සටන්කරුවෝ ඇෆ්ගනිස්තානය තුළ මෙන්ම පාකිස්තානය තුළට ද විසිරී ගියා.

එහෙත් ඔවුහු අතුරුදහන් නොවූහ. පකිස්තානයේ ආශිර්වාදය රැකවරණය මත නැවත වැඩෙන්නට විය. මේ කණ්ඩායම මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී පතල් කර්මාන්තය සහ බදු එකතු කිරීම් මගින් ඩොලර් මිලියන ගණන් එක්රැස් කරමින් සිටියහ. පාකිස්තාන ආශිර්වාදය යටතේ 2018 දී ඇෆ්ඝනිස්තානයේ භූමි ප්‍රමාණයෙන් 70%ක් පුරා තලේබාන් ව්‍යාපාරය විවෘතවම ක්‍රියාකාරීව සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර ගෙන තිබුණි.

අල්ඛයිඩා හෝ කුර්සාන් පළාතේ ඉස්ලාමීය රාජ්‍යය හෝ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය රාජ්‍යය හෝ තලේබාන් සංවිධානය දෙකඩ කිරීමට උත්සාහ කරන හක්කානි ජාලය යන මේ සියල්ලන්ම ස්ථාන ගතව සිටින්නේ පකිස්ථානයේයි. එමෙන්ම එම කණ්ඩායම් එකිනෙක හා සම්බන්ධ කරන ශක්තිමත් හා දියුණු සැපයුම් දාමයක්ද පවති.

අල්කයිඩා ආරම්භය වූ සමයේ සිට එහි සංවිධානාත්මක ව්‍යුහය පදනම් වී ඇත්තේත්, එමෙන්ම අල්කයිඩා නායකයින් වෙසෙන්නේත් පාකිස්තානයේ බව ජනමාධ්‍යවේදීන්, පර්යේෂකයන් හා පාකිස්තාන වර්තමාන හා හිටපු බලධාරීන් විසිනුත් අවස්ථා ගණනාවක දී තහවුරු කර තිබේ.

ඔසාමා සොයා ඇෆ්ගනිස්තානයට පැමිණි ඇමෙරිකාවට ඔහුව හමුවන්නේ ඉන් වසර දහයකට පසුවය. නමුත් ඔහු ජීවත්වූයේ ඇෆ්ගනිස්තානයේ නොව පාකිස්තානයේය. පාකිස්තානයේ නැගෙනහිරට වන්නට පිහිටි ඇබොට්ටාබාද් නගරයේ ආරක්ෂිත නිවාසයක රැඳී සිටියදී ඔසාමාව මරා දමන ලද්දේ ඇමෙරිකානු නාවික හමුදාවේ සීල් භටයන් විසිනි.

භට කණ්ඩායම පැමිණෙන විට බින් ලාඩන් එකී නිවාසයේ වසර හතරක කාලයක් ඉතා රහසිගතව ජීවත් වී තිබුණි. මෙම ආරක්ෂිත නිවස්නය පිහිටියේ පාකිස්තානු හමුදා ඇකඩමියකට ඉතා ආසන්නයෙන් වීම විශේෂත්වයකි. බොහෝ විශ්ලේෂකයන්ට අනුව ලොව විශාලතම බුද්ධි සේවය වන්නේ ද පාකිස්තානයේ රාජ්‍ය බුද්ධි සේවයයි.

එවැනි පරිසරයක් තුළ ඔසාමාට තමන්ගේ පවුල සමඟ එරට ආරක්ෂක අංශවලට නොදැනී ප‍්‍රධාන පෙළේ හමුදා නගරයක ජීවත් වීමට හැකිද යන ප‍්‍රශ්නය තවමත් විසඳී නොමැත. නමුත් එවකට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පාකිස්තානය පිළිබඳව නිවැරදි තක්සේරුවක සිටි බව පෙනීයයි. ඔසාමාගේ සිද්ධියෙන් පසු පාකිස්තානු හමුදාවට ලැබුණු ඇමෙරිකානු ආධාර හා පුහුණුවීම් කෙමෙන් අඩු වී ගියේය.

නිරවි යුද සමයේ තමන් සමඟ හිතවත්ව සිටි පාකිස්තානය සම්බන්ධයෙන් ඔබාමා රාජ්‍යතාන්ත‍්‍රික නිහඬතාවයක් අනුගමනය කළ බව සිතිය හැකිය. එමෙන්ම එමෙන්ම වසර හතරකට පමණ පෙර අල්කයිඩා නායක අයිමාන් අල් සව්හාරි ( Aiman Al Zawahiri) කරච්චිය ජීවත් වූ ආකාරය පිළිබඳව දීර්ඝ ලිපි මාලාවක් ද නිකුත් වී ඇත.

ඇමරිකානු හමුදා විසින් තලේබාන්වරැ පසුබස්සවා තිබුණද ඇෆ්ගනිස්තානයට සාමය නම් උදාවූයේ නැත. භට ප්‍රධාන හේතුව ක්‍රියායත්මක වූ පාලනයට එරෙහිව තලේබාන්, අල්කයිඩා ආදී විවිධ කණ්ඩායම් විසින් පකිස්තානයේ රැකවරණය ලබමින් ඇෆ්ගනිස්තානය තුළ දියත් කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියායි.
තලේබාන් ව්‍යාපාරය තැනීමට පාකිස්තානය මුල් වූ බවට නැගෙන ප‍්‍රබල චෝදනාවක් ද පවතී. නමුත් පාකිස්තානය දිගින් දිගටම එකී චෝදනාව ප‍්‍රතික්ෂේප කරයි.

මෙම සැකය මතුවීමට තුඩුදුන් බොහෝ හේතු ඇත. තලේබාන් ව්‍යාපාරයට මුලින්ම එක්වූ සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙකු පාකිස්තානයේ මද්‍රසා ආගමික පාසල්වල අධ්‍යාපනය ලැබූ ඇෆ්ගන් ජාතිකයන් වීම මේ අතරින් කැපී පෙනේ. තවද 1996 දී මුල් තලේබාන් පාලනය පිළිගත් රටවල් තුන අතර පාකිස්තානය ද සිටීම තවත් විශේෂත්වයකි. අනෙක් රටවල් දෙක වූයේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එමෙන්ම තාලේබාන්වරුන් සමඟ පැවති රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා අතහැර දැමීම සඳහා තීරණය කළ අවසාන රට වූයේ ද පාකිස්තානයයි. ඇමෙරිකානු හමුදා පැමිණීමත් සමඟ බොහෝ තලේබාන් නායකයෝ පාකිස්තානයේ ක්වෙටා නගරයට පලාගොස් එහි සිට තම ව්‍යාපාරය මෙහෙයවන්නට පටන් ගත්හ.

වසර කීපයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව ඇෆ්ගනිස්තානයට “සාමය උදාකර ගැනීමේ ගිවිසුමක්” 2020 වසරේ පෙබරවාරියේදී අත්සන් තැබුණි. සාම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව තාලිබාන්වරුන් සිය ප්‍රහාරවල ස්වභාවය වෙනස් කරනු ලැබිණ. හමුදා සහ නාගරික ඉලක්ක වෙත ඔවුන් එල්ලකරමින් සිටි සංකීර්ණ ප්‍රහාර වෙනුවට ඔවුන් ජනතාව භීතියට පත්කරවන, ඉලක්කගත මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට පටන් ගත්තේය. අවසානයේ සිදුවූයේ 2021 වසරේ දී ඇෆ්ගනිස්තානයේ බලය යළි තලේබාන් සංවිධානය අතට පත්වීමයි.

පැවති ආණ්ඩුව බිද වැටුණු අතර පකිස්තානයේ පූර්ණ පෝෂණය සහ අනුග්‍රහය ලැබූ තලේබාන් සංවිධානය යළි ඇෆ්ගනිස්තානයේ පාලකයන් බවට පත්විය. අතීතයේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක‍්‍රියාකළ කණ්ඩායමකට මේ වනවිට නවීනතම ගුවන්යානා ද සහිත හමුදා බලයක් ලැබී ඇති අතර නව යුද උපකරණ රැසක් ද ලැබී තිබේ.

මේ සියල්ලට පිටිය සකස් කිරීමේ දී පකිස්තානය කළ ‍මෙහෙය සුළු පටු නැත. එහිදී චීනයේ භුදේශපාලනික උවමනාවන්ද අදාළ කර ගැණින.කෙසේ හෝ තලේබානුවන් හා එක්ව තමන්ට අවැසි ලෙස පිටිය සකස් කළ පාකිස්තානයට මේ වන විට සිදු වී ඇත්තේ ඔවුන්ගේ මාරක ප්‍රහාර හමුවේ නිරුත්තර වන්නටය. පසුගිය දා දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානය වෙත එල්ල වූ ප්‍රහාරයකින් පකිස්තාන හමුදා සාමාජිකයන් 07 දෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

මෙහිදී පකිස්තානයේ ඉවසීමේ සීමාව ඉක්වමා ගිය අතර පකිස්තාන හමුදාව ඇෆ්ගනිස්ථානයේ කෝස්ට් (Khost) සහ කුනාර් (Kunar) පළාත්වලට පකිස්තාන හමුදාව විසින් ගුවන් සහ ෂෙල් ප්‍රහාර එල්ල කළ අතර එහිදී සිවිල් වැසියන් 40 කට අධික පිරිසක් මියගියේ දෙරට අතර වන සබදතා කණගාටුදායක දිශාවකට රැගෙන යමිනි.

ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යය , හෙවත් තලේබාන් පාලනය කෝස්ට් සහ කුනාර් වෙත පකිස්තානය එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දැක ඇති අතර තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇෆ්ගන්වරුන්ගේ ඉවසීම පරීක්‍ෂා නොකරන ලෙසත්, එම වරද නැවත සිදු නොකිරීමට වගබලාගත යුතු අතර එසේ නොවුවහොත් නරක ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවටත් පාකිස්තානයට අනතුරු අඟවා ඇත්තේ ඉදිරියේ දී දෑත් බැඳ බලා සිටින්නට නොවන බව පැහැදිලිය.

ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, තලේබාන් සංවිධානය කාබුල්හි පාකිස්තාන තානාපතිවරයා ද කැදවා ප්‍රහාර සම්බන්ධයෙන් අප්‍රසාදය ප්‍රකාශ කර ඉස්ලාමාබාද් වෙත භාරදීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික දැන්වීමක් ද ලබා දී ඇත.

කෙසේ වෙතත්, පාකිස්තාන නිලධාරින් ඊට ප්‍රතිචාර නොදක්වා ඇෆ්ගනිස්ථානයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව දේශසීමා හරහා වැඩි වන ප්‍රහාර මැඩපැවැත්වන ලෙසයි.

පකිස්තානය ඇෆ්ගන් තලේබාන් සංවිධානයට සහාය දුන්නේ භූ දේශපාලනික හේතූන් මත ය. එක්සත් ජනපදයේ පිටුබලය ලත් පැවති ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය තුළ වර්ධනය වූ ඉන්දියානු බලපෑමට එරෙහිව රක්‍ෂණයක් ලෙස පකිස්තාන ජෙනරාල්වරු තලේබාන් සංවිධානය දුටුවෝය. එහෙත් දැන් පකිස්ථානයට තලේබාන් සංවිධානයේ තර්ජනයන්ට මුහුණදීමට සිදුව තිබීම එක්තරා ආකාරයක දිට්ටධම්මවේදනීය කර්මයකට මුහුණදීමට සිදුවීමකි. තමන් පෝෂණය කළ අන්තවාදය සහ ත්‍රස්තවාදය දැන් ඔවුන්ටම අභියෝගයක් වී තිබේ.

ඒ අනුව මීට මාස අටකට පෙර ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ගේ ජයග්‍රහණය පිළිගත් පකිස්ථානයට දැන් සිදුව ඇත්තේ තමන් විසින් බෙරගසා පිළිගත් තලේබාන් පාලනයේ තර්ජනයන්ට මුහුණදීමටය. මෙය එක්තරා ආකාරයකට පකිස්තානයට විවිධ භූදේශපාලන අරමුණු සදහා අන්තවාදය සහ ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ පව ගෙවීමට සිදුවීමක් ලෙස හැදින්විය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?