නීති විරෝධී වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක ගැටීමෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය, තෙන්මරච්චි ප්‍රදේශයෙන් වාර්තා වනවා.
නීති විරෝධී වැලි කැණීම් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් සිදු කිරීම සඳහා අද (28) පෙරවරුවේ අදාළ ස්ථානය වෙත ගිය වයස අවුරුදු 50ක් වූ කොඩිකාමම් පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ විමර්ශනය සඳහා ගොස් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර රථයක් ගමන් කළ මාර්ගය හරස් කිරීමට යාමේදී එම ට්‍රැක්ටරය නොනවත්වා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එවිට එම පොලිස් නිලධාරීන් දෙදෙනා ද ට්‍රැක්ටර් රථයේ ගැටී තිබෙනවා.
අනතුරින් අදාළ සැරයන්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් නිලධාරියා තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් සිද්ධියෙන් පසු අදාළ ට්‍රැක්ටර රථය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රියදුරු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.













