කාන්තාවකට විෂ සහිත ද්‍රාවණයක් මුහුණට ඉස පහර දී ඝාතනය කර ඇයගේ රන් භාණ්ඩ සහ මුදල් රැගෙන නිවසේ සේවයට සිටි මෙහෙකාරිය අතුරුදන්ව ඇති බව වැල්ලම්පිටිය පොලිසිය පවසනවා.
සැකකාරිය විසින් ඝාතනයට යොදාගත් අඩි තුනක් පමණ දිගැති පොල්ලක් සහ විෂ ද්‍රාවණයක් සහිත බෝතලයක් නිවසේ තිබී සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ දරුවන් විදේශගතව සිටින අතර, මීට මාස හයකට පමණ ඉහතදී මෙම කාන්තාව තෙමහල් නිවසක පහත මහලේ නිවසට කුලී පදනම මත පදිංචියට පැමිණ ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
පසුව ඇය විසින් මීට දෙසතියකට පමණ ඉහත දී ගම්පහ, කලගෙඩිහේන ප්‍රදේශයේ වයස අවුරුදු 30ක පමණ තැනැත්තියක් නිවසේ මෙහෙකාර සේවයට කැඳවාගෙන ඇති බවයි වාර්තා වුණේ.
අදාළ මෙහෙකාරිය මෙම ඝාතනය සිදුකර නිවසේ තිබූ මුදල් සහ රන් අභරණ කොල්ල කා මෙලෙස පලාගොස් ඇති බව සඳහන්.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ සිද්ධිය සිදුවූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




