AFC Banner
Empty Ad
Empty Ad

දේශපාලනයේ වෙනස් මත දැරුවත් රට වෙනුවෙන් එකට වැඩ කළ යුතුයි – ජනපති

සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ ගොඩනඟාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

“උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදාකරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ද සඳහන් කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4,012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු වුණා.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මම මීට වසර 50 කට පෙර 1974 වසරේදී වරක් මෙම තඹුත්තේගම ප්‍රදේශයට පැමිණියා. එවකට මෙහි සිටි වාමාංශික පෙරමුණේ මන්ත්‍රී රත්නමලාන මැතිතුමාගේ මරණයෙන් පසු ඒ සඳහා ඉදිරිපත්වීමට බණ්ඩාරනායක පවුල ඇතුළේ ගැටළුවක් පැන නැඟුණා. අනුර බණ්ඩාරනායක කිව්වා එතුමා ඉදිරිපත් වෙනවා කියලා. විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඇහුවා සහාය ලබා දෙනව ද කියලා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එම අවස්ථාවෙම ඔව් කියා ප්‍රකාශ කළා. එවිට චන්ද්‍රිකා මැතිණිය සහ විජය කුමාරතුංග මහත්මයා ඊට විරුද්ධ වුණා. අවසානයේ බණ්ඩාරනායක මැතිණිය රත්නමලාන මැතිතුමාගේ පුතා ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයෙන් අධිකාරි මැතිතුමා ඉදිරිපත් කර අප අතුරු මැතිවරණය සඳහා මෙම පළාතට පැමිණියා.
එදා මේ පළාත්වල කිසිදු දියුණුවක් තිබුණේ නැහැ. මින් වසර 10කට පසු 1984 වසරේ මම නැවත තඹුත්තේගමට පැමිණියා. ඒ වන විට අපි ආණ්ඩුවක් ගොඩනඟා තිබු අතර, ගාමිණි දිසානායක ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස අධිකාරි මැතිතුමා පත් කර තිබුණා. ගාමිණි දිසානායක මහතා මහවැලි එච් කලාපය එතුමාට භාරදුන්නා. එදා අප සියලුදෙනාගේ සහාය ලබාගෙන එය දියුණු කිරීමට එතුමා කටයුතු කළා.
මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කලාවැව ප්‍රදේශයේ ප්‍රධාන නගරය ලෙස තඹුත්තේගම නව නගරය ගාමිණි දිසානායක මැතිතුමා විසින් විවෘත කළා. මධ්‍ය මහා විද්‍යාලය, නව බස් නැවතුම්පොළ, අංග සම්පූර්ණ රෝහල, උප දිසාපති කාර්යාලය සහ වෙළෙඳ සැල් එදා ආරම්භ කළා. මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඊට සහභාගී වූ අතර එම්.එච්. මොහොමඩ් මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, රංජිත් අතපත්තු මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් ඊට සහභාගී වූණා. ඊට පෙර අධිකාරි මහතා කළ ඉල්ලීම පරිදි තඹුත්තේගම මහා විද්‍යාලයට උසස් පෙළ අධ්‍යාපනය ලබාදීමට මම කටයුතු කළා. ඒ වගේම අලුතින් ගොඩනැගිල්ලක් ලබාදීමට ද කටයුතු කළා.
අද තඹුත්තේගම ඉතා දියුණු නගරයක් බවට පත්ව තිබෙනවා. මම 1984 මෙම පළාතට පැමිණෙන විට මගේ මිත්‍ර අනුර දිසානායක මන්ත්‍රීතුමා එම පාසලේ සිටියා. අප එම විද්‍යාලයට උසස් පෙළ අධ්‍යාපනය ලබා දුන් නිසා එතුමාට උසස් පෙළ විභාගය සමත් වී, පසුව අප අලුතින් ඇති කළ කැළණිය විශ්වවිද්‍යාලයට ද ගොස් සාර්ථක වී දැන් අප සමඟ පාර්ලිමේන්තුවේ එකට වැඩ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.
එදා ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ විශාල විරෝධයක් එල්ල වුණා. කෙසේ හෝ මෙම ධවල පත්‍රිකාවෙන් බිහි වූ එතුමා අද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳ මම ආඩම්බර වෙනවා. මෙයින් පෙනී යන්නේ අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයයි.අද මම පැමිණි අවස්ථාවේ විදුහල්පතිතුමා සඳහන් කළා තවම පාසලේ සම්පත් ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා තඹුත්තේගම විද්‍යාලයට නව ගොඩනැඟිල්ලක් ලබාදීමට කටයුතු කරනවා. අප මෙම පළාත්වල විශාල දියුණුවක් ඇති කර පසුව එය ඉදිරියට ගෙන ආවා. වාරිමාර්ග ඇමතිවරු, මහවැලි ඇමතිවරු මේ පළාතෙන් බිහි වුණා.
අනුර දිසානායක මැතිතුමා සහ මම පාර්ලිමේන්තුවේ එකට වැඩකටයුතු කළත් අපේ දේශපාලනය වෙනස්. ඒ බව මීට දින කිහිපයකට පෙර එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතුමා කිව්වා මේ දේශපාලනයේ ගේම්කාරයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. එතුමා රාජපක්ෂවාදියෙකු වීම මට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් ඕනතරම් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂවාදීන් සිටිනවා. ඒ වගේම අනිත් පක්ෂවල අයත් සිටිනවා. අප සියලුදෙනා එකට වැඩ කළයුතුයි. මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය අතහරින අවස්ථාවේ අනුර බණ්ඩාරනායක මහත්මයාට එය ලබාදීමට සිටියා. එහිදී අනුර දිසානායක මන්ත්‍රිතුමන්ලා නිර්භීතව ඉදිරියට පැමිණ පැවසුවා මහින්ද රාජපක්ෂ මහත්මයාට එය ලබා දෙන්න කියලා.
මැතිවරණයේදී එතුමා වෙනුවෙන් වැඩ කළා. එය මට ගැටළුවක් නොවෙයි. අද අප සියලුදෙනා එකතුවෙලා සිටින්නේ දේශපාලනයකින් තොරවයි. රාජපක්ෂවාදින්ද, එක්සත් ජාතික පක්ෂ වාදීන්ද කියා ප්‍රශ්නයක් නැහැ. අප සියලුදෙනා එකතු වෙලා වැටුණු රට ගොඩගත්තා. අද ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා ලංකාව වගේ වැටුණු තැනින් වේගයෙන් ඉදිරියට පැමිණි වෙනත් රටක් නැහැ කියලා. අනෙක් රටවල් මෙය ආදර්ශයට ගත යුතුයි කියලා. මීට වසර දෙකකට පෙර මේ රටේ දේශපාලන ක්‍රමය කඩා වැටුණා. කොයි රටේ ද අගමැතිකම හිඟමනේ යන්නේ. දින 03ක් අගමැතිවරයෙක් සෙව්වා. දේශපාලනයේදී එය සිදු විය නොහැකියි. ඒ වගේම කොයි රටේ ද තනි ආසනයක් තිබෙන කෙනෙක් ජනාධිපතිවරයා වෙන්නේ. මෙම බිඳ වැටුණු දේශපාලන ක්‍රමය මත අද අප සියලුදෙනා එකතුවෙලා රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනවිත් තිබෙනවා. දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා. ඊට පෙර අප අතර විවිධ දේශපාලන ගැටුම් තිබුණා. නමුත් රට වැටෙනකොට එහෙම කරන්න බැහැ. එම අවස්ථාවේ අප එකතු වන්නේ නැත් නම් අපට දේශපාලනය කරන්න රටක් ඉතිරි වන්නේ නැහැ.
පසුගිය වසර දෙකේ ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට අප කටයුතු කළා. මේ බංකොළොත් වූ රටේ සමෘද්ධිය වෙනුවට ඒ වගේ තුන් ගුණයක් වැඩිකර අස්වැසුම ලබා දුන්නා. ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. 2015 වසරේ මම අගමැතිවරයා ලෙස වැටුප් වැඩි කිරීමක් සිදු කළාට පසුව පළමු වතාවටයි එම දීමනාව හිමි වුණේ. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දීලා අද රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනැවිත් තිබෙනවා.
පසුගිය ආර්ථික අර්බුද හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වුණා. දැන් රටේ ආර්ථිකය ගොඩනැගෙන විට ඔවුන්ව අමතක කරන්න බැහැ. මේ පළාතේ ගොවි ජනතාව අපට පසුගිය කන්නවලදී හොඳ අස්වැන්නක් ලබා දුන්නා.
ඒ, නිසා තමයි අපට ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉදිරියට පැමිණීමට හැකියාව ලැබුණේ. එම ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙස අද අප සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය විප්ලවීය පියවරක්. මෙයයි නියම සමාජවාදය. අප ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක්. ඒ නිසා අයිතිය ලබා දිය යුතුයි. චීනයත් සමාජවාදය අනුව ආර්ථිකය දියුණු කර ජනතාවගේ අතට ආදායම් ලබා දුන්නා.
රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සියල්ල තුළින් සිදුවන්නේ ජනතාවට අයිතිය ලබාදීමයි. මීට වඩා සමාජවාදයක් සහ විප්ලවයක් නැහැ. විප්ලව කියන්නේ මිනිස්සු මරා දැමීම, පන්සලේ සිටින ස්වාමීන්වහන්සේට වෙඩි තැබීම හෝ ගෙවල් ගිනි තැබීම නොවෙයි. මෙයය නියම විප්ලවය. උරුමය වැඩසටහන හරහා මේ රටේ ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙම අයිතිය ලබාගෙන ආඩම්බරයෙන් ඉදිරියට යන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා. මෙය ඔබේ විමුක්තියයි. දැන් ඔබට නිලධාරින් පසුපස යාමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ දේශපාලනයෙන් තොරව ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?