භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළා.
ඒ, අනුව මෙම පෙත්සම්කාර දුමින්ද සිල්වාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා
මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නා.
තීන්දු ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.
මෙම ක්‍රියාවලියේදී හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් තීන්දුවේ සඳහන් වුණා.
එසේම පෙත්සම්කරුට සමාව පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරුණු අධිකරණයට පිළිගත නොහැකි තත්ත්වයක පවතින බවත් එහි සඳහන් වුණා.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පිරිසකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.
එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කළ අතර එම අභියාචනා විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය ස්ථිර කිරීමට තීන්දු කර තිබුණා.
ඉන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට තීන්දු කර තිබුණි.
එම සමාව ප්‍රදානය කිරීමේදී නිසි නීතිමය පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බවත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සුමනා ප්‍රේමචන්ද්‍ර ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නීතිඥ ගසාලි හුසේන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.














