දැවැන්ත ගින්නකින් වෙළෙඳසැලක් අළු වෙයි

පිළියන්දල – කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ ලී වෙළඳසැලක අද (04) අලුයම ඇති වූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද අලුයම 05.30ට පමණ පිළියන්දල පොලිසියට සහ මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට මෙම වෙළඳසැලේ ගින්නක් හටගන්නා බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කිරීමේදී ගින්න එන්න එන්නම වැඩිවීම හේතුවෙන් දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහාය ද ලබා ගැනීම සඳහා ඔවුන් කැඳවීමට පියවර ගත් බවයි.

එම ස්ථානයට මොරටුව සහ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බවුසර් ඇතුළු ගිනි නිවීමේ රථ 08කට ආසන්න ප්‍රමාණයක් සමගම ගිනි නිවීමේ නිලධාරීන් 20කට ආසන්න ප්‍රමාණයක් පැමිණ පුරා පැය දෙකකට ආසන්න කාලයක් දැඩි වෙහෙසක් දරා ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කළා.

ඒ වනවිටත් වෙළඳසැලේ 90%කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ගින්නත් සමගම පිළියන්දල කොළඹ මාර්ගය දැඩි රථ වාහන තදබදයකට ලක් වූ අතර පිළියන්දල පොලිසියේ රථවාහන අංශය මගින් කොළඹට ගමන් ගන්නා මංතීරුව සම්පූර්ණයෙන්ම තාවකාලිකව වසා දමා කොළඹට ගමන් ගන්නා වාහන ප්‍රතිවිරුද්ධ මංතීරුව ඔස්සේ ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු සැලසුවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?