යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ අද (26) අලුයම 4.40ට පමණ වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් තිදෙනකු තුවාල ලබා තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මහනුවර සිට යාපනය දක්වා ගමන් ගත් මෝටර් රථයක් හා යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.
අනතුරින් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා.
මෝටර් රථයේ ගමන් ගත් තුවාල ලැබූ තිදෙනා රෝහල්ගත කර ඇති අතර ඉන් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවයි වාර්තා වන්නේ.
මෝටර් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව පොලිසිය සැක පළ කරනවා.
එකම පවුලේ පියා, මව හා දරු දෙදෙනෙකු මෝටර් රථයේ ගමන් කොට ඇති අතර, පියා අනතුරින් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඇතුළු දෙදෙනෙකු තුවාලකරුවන් අතර සිටින බවයි වාර්තා වන්නේ.
මරණකරු 50 හැවිරිදි නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.





