16 හැවිරිදි දැරියකගේ ඡායාරූපයක් යොදාගෙන ඇය යවන ආකාරයෙන් අපහාසාත්මක දෑ අඩංගු කර ෆේස්බුක් හරහා විවිධ පුද්ගලයන් වෙත යොමු කළ හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ 16 හැවිරිදි දැරියගේ මිතුරියන් හා මිතුරන් එම දැරියට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව පියා සමග පොලිසියට පැමිණි තරුණිය ඒ බව පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසී ය.
පොලිසිය සඳහන් කළේ, මීට වසර කිහිපයකට පෙර මෙම දැරිය හා මිතුරු වීමට උත්සහ කර තිබූ සැකකාර පුද්ගලයා එය අසාර්ථක වීම හේතුවෙන් ඊට උරණ වී දැරියට අපහාස කිරීමේ චේතනාවෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බව ය.
දැරියගෙන් ලද පැමිණිල්ල අනුව වහා ම ක්‍රියාත්මක වී ඇති අළුබෝමුල්ල පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී දැරියගේ නමින් විවෘත කර ඇති ව්‍යාජ ෆේස්බුක් ගිණුම දැක ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසී ය.
සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අළුබෝමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.