අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින තමාගේ ජීවිත ආරක්ෂාව සඳහා ගත හැකි උපරිම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නිලංග සම්පත් සිල්වා නොහොත් පානදුරේ නිලංග නමැත්තා විසින් ගොනු කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණයට නියෝග කළා.
ඒ, පෙත්සම අභියෝජනාධිකරණයේ විනිසුරු සභාපති රොහාන්ත අබේසූරිය සහ ප්රියාන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.
රැඳවුම් නියෝග බාරේ රඳවා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව තමා සම්බන්ධයෙන් ද කටයුතු කරන ලෙස ඉල්ලා සිය පෙත්සම මගින් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.
පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සෝහාන් ද සිල්වා පෙනී සිටි අතර, පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ ශනිල් කුලරත්න පෙනී සිටියා.



