පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ආයතනයක විගණනයක් සිදු කිරීමේදී විගණකාධිපතිවරයා විසින් සොයා ගන්නා ලද ඕනෑම වංචාවක්, දූෂණයක් හෝ අයථා පරිහරණයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයකට පැමිණිලි කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම මෙම සංශෝධනයේ ප්‍රමුඛ අරමුණයි.
එමෙන්ම, විගණනයට ලක්වන ආයතනයක ඕනෑම ගනුදෙනුවක ඇති ඕනෑම අඩුපාඩුවක් හෝ අලාභයක ප්‍රමාණය මත අධිභාරයක් පැනවීමට අධිභාර සමාලෝචන කමිටුවට නිර්දේශ කිරීමට විගණකාධිපතිවරයාට බලය පැවරීම, විගණකාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශ සලකා බැලීමට, අධිභාරයක් ලෙස පැනවිය යුතු මුදල තීරණය කිරීමට අධිභාර සමාලෝචන කමිටුවට බලය පැවරීම සහ අධිභාර ප්‍රමාණය සහ අධිභාරය අයකර ගැනීම තීරණය කිරීමේදී අධිභාර සමාලෝචන කමිටුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය නිශ්චිතව දැක්වීමට විධිවිධාන සැපයීම සංශෝධන පනත් කෙටුම්පතේ අරමුණු අතර වනවා.
ඉහත කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, කමිටුව 2024 වර්ෂය සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා අධිකරණ හා බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව, 2022 සහ 2024 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා සහ 2023 වර්ෂය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ද සළකා බලා අනුමැතිය ලබාදීම සිදුවුණා.













