AFC Banner
Empty Ad
Empty Ad

ජනතාව මුලාකර ව්‍යාපාරයක නිරත වූ පුද්ගලික සමාගමකට අධිකරණ නියෝග

ජනතාව මුලා කරමින් “දැඩිගම” නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන  මහනුවර  පුද්ගලික සමාගමකට “දැඩිගම” නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී.ප්‍රනාන්දු නිකුත් කර තිබෙනවා.

දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීමට තමන්ට අයිතියක් ඇති බවට විත්තිය ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණා.

දැඩිගම වෙළඳ ලකුණට සමාන නම්  යොදා ගනිමින් අසාධාරණ තරඟයක නියැලීම තහනම් කරමින් මෙම අතුරු නියෝගය මහනුවර, කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩි.ඒ.සි.පි. දැඩිගම උකස්  පුද්ගලික  සමාගමට එරෙහිව නිකුත් කර තිබෙනවා.

දැඩිගම උකස් මධ්‍යස්ථානය, දැඩිගම රන් ණය මධ්‍යස්ථානය, දැඩිගම උකස්කරුවෝ, යන නාමයන්ට සමාන නාමයන් භාවිතා කිරීම ,දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීම, දැඩිගම නමින් ප්‍රචාරය කිරීම, දැඩිගම  නමින් නව වෙළඳසැල් ආරම්භ කිරීම තහනම් කරමින් මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණා.

දෙහිවල පාර, මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම  බුද්ධිමය දේපල පනත යටතේ පැවරු නඩුවක් විභාග කිරීමෙන් පසුව මෙම අතුරු තහනම නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි  නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  විත්තිකාර සමාගම දැඩිගම කෙරෙහි ජනතා විස්වාසය  හා කීර්ති නාමය  භාවිතා කරමින් ව්‍යාජ ව්‍යාපාරයක නිරතව සිටින බවයි.

විත්තිකරුවන් විසින් පැමිණිලිකරුවන්ගේ දැඩිගම නාමයට සමාන වෙළඳ ලකුණක් භාවිතා කරමින් එම වෙළඳ ලකුණ ඇතුළත ජනතාවට නොපෙනෙන අයුරින් ඩි.ඒ.සි.පි. අකුරු හතර යොදමින් අසාධාරණ තරගයක නිරත වන බවද පවසා තිබෙනවා.

1950 ආරම්භ කළ දැඩිගම ගෲප් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා ශාකා 281 ක් ස්ථාපිත කර ඇති බවත්,විත්තිකරු එම ජනප්‍රියතාවය ව්‍යාජ ව භාවිතා කරමින්  සිටින බවත් පවසා තිබුණා.

2023 අංක 36 දරණ බුද්ධිමේ දේපල පනතේ 144 වගන්තිය ප්‍රකාරව මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත්, එම පනතේ 121 වගන්තිය,160වගන්තිය  යටතේ අසාධාරණ හා ජනතාව නොමග යවන සුළු ක්‍රියාවන් බවත් පෙන්වා දී තිබෙනවා.

එහෙයින් ජනතා විශ්වාසය දිනූ පැමිණිලිකරුගේ කීර්ති නාමය උපයෝගී කරගනිමින් වෙළඳ කටයුතුවල නිරත වීම වළක්වන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතීසී විත්තිකරුට නිකුත් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.

විත්තිකාර ඩි.ඒ.සි.පි උකස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා කරුණු ඉදිරිපත් කර තිබුණා.

විත්තිකාර සමාගම දැඩිගම යන නාමය වසර තිහක( 30) සිට භාවිතා කරන බවත්, විත්තිකරුවන්ගේ පෙළපත් නාමය දැඩිගම වන හෙයින් ඒ භාවිතා කිරීමේ නීතිමය අවකාශ ඇති බවත්, පැමිණිකාර සමාගමේ වෙළඳ ලකුණ කොන්දේසි සහිතව ලියාපදිංචි කර ඇති බවත් විත්තිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ කුවේරද ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එය අනුව පැමිණිල්ලේ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙසද විත්තිය වෙනුවෙන් ඉල්ලා තිබුණා.

අදාල විරෝධතා ප්‍රතික්ෂේප කර ඇති මහාධිකරණ විනිසුරු ප්‍රනාන්දු මහතා සිය තීන්දුව ලබාදෙමින් සඳහන් කර සිටියේ වසර තිහක් අදාල වෙළඳ නාමයේ භාවිතා කළේ යැයි විත්තිය කරුණු ඉදිරිපත් කළද ඊට අදාළ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.

විත්තිකාර සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමේ කරුණු පැමිණිල්ලේ කරුණු දැක්වීම මත බිඳී යන බවද පෙන්වා දී තිබෙනවා.

විත්තිකරුවන්ගේ පෙළපත් නාමය වෙළඳ ව්‍යාපාරය හා යා කළ නොහැකි බවත් වෙළඳ ලකුණ කොන්දේසි සහිතව ලියාපදිංචි කිරීම යන හේතුව ඉවත දැමූ මහාධිකරණ විනිසුරුවරයා පහසුවේ සමබරතාවය යන නීති කොන්දේසිය අනුව වෙළඳ ලකුණේ හිමිකාරීත්වය පැමිණිලිකරුවන් සතු වන බවත් පෙන්වා දෙමින් විත්තිය විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මෙම තහනම නිකුත් කෙරුණා.

පැමිණිකාර සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි   නීතිඥය මනෝජ්  බණ්ඩාර සමග නීතිඥ චමත්කාද සිල්වා , නීතිඥ ලක්ෂාණි ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි‍යා.

විත්තිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා සහ නීතිඥ අමා සඳමිණී ඇතුළු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?