ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
නිසි ප්‍රමිතියෙන් යුතු බස් රථ අලුතින් ධාවනයට එක් කිරීමට සහ පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා වූ සැලසුම් රජය මේ වන විට සකස් කරමින් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය එකවර සිදු කළ නොහැකි කාර්යයක් වුවත් වසර කිහිපයක් සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් රජයේ ප්‍රධාන ඉලක්කයක් වන ගුණාත්මක බස් රථ සංචිතයක් මෙරට ජනතාවට හිමි කර දීමට හැකියාව ලැබෙන ඇතැ’යි සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බඳවාගත් නවක රියදුරු මහතුන් 199ක් සහ කොන්දොස්තර මහතුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමින්.
පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් කිහිප දෙනෙක් වෙත පත්වීම් ලිපි පිළිගැන්වුණා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අතීතයේදී මෙරට ජනතාව තුළ තිබූ ඓන්ද්‍රීය බැඳීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන බිඳ වැටීමට ලක් වූ ලංගමය ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් ලෙස යළි ගොඩනැඟීමට අද දින පත්වීම් ලැබූ සියලු දෙනා තම වගකීම් ඉටු කරනු ඇතැ’යි විශ්වාසය පළ කරමින් නවක පත්වීම්ලාභී සියලු දෙනා වෙත සුබපැතුම් එක් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
ශ්‍රී ලංගමය සමඟ අපේ රටේ ජනතාවට ගමන් බිමන් යාමෙන් ඔබ්බට ගිය සංස්කෘතිකමය බැඳීමක් තිබෙනවා. අද රියදුරු සහ කොන්දොස්තර මහතුන් ලෙස ඔබ ඇතුළත් වන්නේ එවැනි ඉතිහාසයක් සහ මිනිසුන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවත්වාගෙන ගිය සේවාවකට. ඒ වගේම මම විශ්වාස කරනවා ශ්‍රී ලංගමය මේ තිබෙන තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබිය යුතුයි. එය තාක්ෂණයෙන් පමණක් නොවෙයි එම බස් රථවල වැඩ කරන රියදුරු සහ කොන්දොස්තර මහතුන් ජනතාව සමග ඉතා සමීපව, ළෙංගතුව සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිතමින් කටයුතු කරන අලුත් තැනකට ඔසවා තැබිය යුතුයි. ඒ නිසා මම හිතනව ඊට ඇතුළත් වන ඔබට ශ්‍රී ලංගමය තුළට නව සංස්කෘතියක් ගෙන යාමට හැකි වෙයි කියලා.
යහපත් ඉතිහාසයක් තිබුණු ශ්‍රී ලංගමය පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන අභාවයට පත් වෙමින් පැවතුණා. යම් දේශපාලන අධිකාරින්හි බලය ත්‍රාඩ ලෙස පැතිර වීම සඳහා මෙම ආයතන උපයෝගී කරගත්තා. ඒ නිසා ලංගමය පිළිබඳ ජනතාව තුළ තිබූ අධ්‍යාත්මික බැඳීම පලුදු කිරීමට මේ කැත පන්නයේ දේශපාලන සංස්කෘතිය හේතු වුණා කියා මම විශ්වාස කරනවා. ඒ වගේම නූතන ලෝකයේ ඇති වූ තාක්ෂණික වෙනස්කම්ලට අනුරූප වන පරිදි තාක්ෂණික වෙනස්කම් කර ගැනීමට නොහැකි වීමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ජනතාව සහ ලංගමය අතර සබඳතා බැඳ වැටීමට හේතු වුණා.
රටට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් අවශ්‍ය බවට අද අපි රජයක් ලෙස දැඩි ප්‍රතිපත්තියක සිටිනවා.
ඊට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. අදත් අපේ රටේ පවුලක ප්‍රවාහන සේවය සඳහා දරන වියදම වැඩියි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයෙන් ජනතාවට කාර්යක්ෂම සහ අඛණ්ඩ සේවාවක් ලබා ගැනීමට හැකි වේ දැයි යන්න පිළිබඳ සැකයක් තිබෙනවා. ඒ සැකය නිසා තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා තමන් විසින්ම සපුරා ගැනීමට ජනතාව පෞද්ගලිකව යතුරු පැදියක්, කුඩා මෝටර් රථයක් මිලදී ගැනීමට උත්සාහ කරනවා. ඒ හේතුවෙන් තමන්ට ලැබෙන ආදායමෙන් වැඩි පංගුවක් මේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා වැය කිරීමට සිදුව තිබෙනවා. අවසානයේ බලන කළ ඔවුන් වැඩ කර තිබෙන්නේ වැඩට යාමට වියදම සොයා ගැනීමටයි. ඒ අනුව ජනතාව ප්‍රවාහන අවශ්‍යතා සඳහා සිය ආදායමෙන් දරන වැය බර වැඩියි. අපි එය අඩු කළ යුතුයි. ඒ නිසා ජනතාවට බරක් නොවන ප්‍රවාහන සේවාවක් අපි ඇති කළ යුතුයි.
ඒ වගේම,අපි මෝටර් රථ විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. ඒ වෙනුවෙන් ආනයන වියදමෙන් විශාල පිරිවැයක් දරනවා. මම විශ්වාස කරනවා පොදු ප්‍රවාහනය ශක්තිමත්ව දියුණු කළහොත් සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ වාහන ආනයන සඳහා යන වියදම් අඩුකරගත හැකියි කියලා. එය ආර්ථික වශයෙන් ඉතා වැදගත් වෙනවා.
ඒ වගේම පරිසරයට විශාල වශයෙන් සිදු වන වායු දූෂණයට මේ වාහනවලින් නිකුත් කරන විෂ සහිත දුම් හේතුවී තිබෙනවා. පරිසරයට මුදා හරින විෂ දුම් ප්‍රමාණ අඩු කර ගැනීම පිළිබඳ අද මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අපේ අනාගත උපනූපන් දරු පරපුර වෙනුවෙන් මේ පරිසරය ආරක්ෂා කර දිය යුතුයි. ඒ නිසා විෂ දුමෙන් පරිසරයට සිදුවන හානිය අඩු කිරීමට එය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා පරිසරය පැත්තෙන් බැලුවත් මෙය වැදගත් සාධකයක්.
අද නාගරික තදබදය ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා. කොපමණ මිනිස් පැය ප්‍රමාණයක් පාරට වැය වෙනවද? එය ආර්ථික වශයෙන් ගණනය කළහොත් ආර්ථිකයට විශාල හානියක් සිදු වෙන බව පෙනෙනවා. ඒ නිසා මාර්ග තදබදය අඩු කිරීමේදීත් පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම ඉතා වැදගත්. මේ අන්දමට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් දියුණු කිරීම අපේ අපේක්ෂාවයි.
පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන බවට සංකල්ප හැදුවට වැඩක් නැහැ ජනතාවට නිසි පරිදි එම සේවාව ලැබිය යුතුයි. ඒ වගේම සුවපහසු ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. ඒ නිසා දැනටමත් අපි බස් රථ සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙනවා. ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. ඒ නිසා ඕන ඕන විදියට බස් දාගෙන, හිරකරගෙන ගියොත් අපි පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳ කෙතරම් උත්සාහ දැරුවත් වැඩක් නැහැ ජනතාව එයින් ඈත් වෙනවා. ඒ නිසා අපි ජාතික ප්‍රතිපත්තියක් හදනවා කවර වර්ගයේ බස් රථද පාරේ ධාවනය කරන්න පුළුවන් කියලා. එය එකවිට කරන්න බැහැ. සමස්ත බස් සංචිතයම ඉවත් කර අලුත් බස් රථ සංචිතයක් එකවිට ඇතුළත් කළ හැකි වත්කමක් අපිට නැහැ. එසේනම් අලුතින් එක් කරන බස් රථ ප්‍රමිතියෙන් යුත් බස් රථ විය යුතු අතරම ක්‍රමානුකූලව පැරණි බස් රථ ප්‍රවාහන පද්ධතියෙන් ඉවතට යා යුතුයි. වසර කිහිපයක් මෙය සැලසුම් සහගතව කළහොත් සමස්ත බස් රථ සංචිතයම නව ගුණාත්මක බස් රථ සංචිතයක් බවට පරිවර්තනය කළ හැකියි. එය අපේ ප්‍රධාන ඉලක්කයක්.
ඒ වගේම බස් රථ මොනතරම් සුවපහසු වුණත් වැඩක් නැහැ ඒ බස් රථය ධාවනය කරන රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාගේ හැසිරීම යහපත් නැත්නම්. මොකද බස් රථයේ ගමන් කරන සියලු ජනතාවගේ ජීවිත ඔහුගේ දෑත මතයි පවතින්නේ. ඒ නිසා ඕන කෙනෙකුට, ඕන විදියට බස් රථයක් ධාවනය කිරීමට රජයක් ලෙස අපි ඉඩ දිය යුතු නැහැ. ඇතැම් බස් රථ සමාගම්වල අයිතිකරුවන් යැයි කියා ගන්නා අය ඊට එරෙහිව යම් ප්‍රකාශ කර තිබුණා. එහෙත් අපි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
සෑම පුරවැසියෙක්ම බස් රථයට නගින්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසයකින්. එසේ නම් ජීවිත පිළිබඳ අනාරක්ෂිත තත්ත්වයක් මතුවන්නේ නම් කිසිවෙකු තමන්ගේ දරුවා පොදු ප්‍රවාහනයට භාර දෙන්නේ නැහැ. පොදු ප්‍රවාහන පද්ධතිය පිළිබඳ විශ්වාසය ඇති කරන්න නම් දැනට ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කළ යුතුයි. විෂ මත්ද්‍රව්‍ය භාවිත කර කිසිසේත් බස් රථයක් ධාවනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ පිළිබඳ අවශ්‍ය නීති, පරීක්ෂා කිරීම් ආදී සියල්ල සිදු කරනවා. ඒ නිසා රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ හැසිරීම ගුණාත්මක තත්ත්වයට ගෙන ආ යුතුයි.
එසේම කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුයි. සියලු දෙනා අපේක්ෂා කරන්නේ තමන්ගේ ගමනාන්තයට ඉතා ඉක්මනින් යාමට. ඒ නිසා කාර්යක්ෂමතාව ඇති කළ යුතුයි. නියමිත වේලාවට ගමනාන්තය අවසන් විය යුතුයි. ඒ වගේම අඛණ්ඩතාව ඉතා වැදගත් වෙනවා. එසේ නොමැති වුවහොත් දෛනික ජීවිතය බිඳ වැටෙනවා. ඒ නිසා සුවපහසු, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ලබා දීම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා සුවපහසු බස් රථ බලඇණියක් ස්ථාපිත කර එය මේ මාසයේදී ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ මාසයේ ජපාන රජයෙන් අලුත් බස් රථ 08ක් ලැබෙනවා. ඊට අමතරව අපි ඇණවුම් කළ බස් රථ අගෝස්තු, සැප්තැම්බර් වන විට අපිට ලැබීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, සුවපහසු මගී ප්‍රවාහනය සඳහාම සුදුසු බස් රථ බලඇණියක් නව සමාගමක් හරහා අපි හදනවා. අපි ක්‍රමානුකූලව පැරණි බස් රථ සංචිතය නගරවලින් ටික ටික ඈත් කරන්න පටන් ගන්නවා. ප්‍රධාන නගරවල කෙටි ධාවනය සඳහා බස් රථ බලඇණිය හදලා ක්‍රමානුකූලව පැරණි බස් රථ ධාවනයෙන් ඉවත් කරනවා. මෙය එකවර කරන්න බැහැ.
ඒ වගේම, පුරවැසියාට ලැබෙන සේවාව ඉතා වැදගත්. ඒ නිසා රජයක් ලෙස අපි බැඳී සිටිනවා හොඳ සේවාවක් ලබා දීමට. හැබැයි, මේ සේවාව මුළුමනින්ම පෞද්ගලික අංශයට විතරක් තල්ලු වුවහොත් ඔවුන් අතර ඒකාධිකාරියක් නිර්මාණය වෙනවා. ඒ නිසා මුළුමනින්ම මෙය අත්හළ යුතු නැහැ. හැබැයි අපි විධිමත් කළමනාකරණ ක්‍රමයක් හදන්න අවශ්‍යයි.
රජයේ පංගුවක් තිබෙන සහ පෞද්ගලික අංශයේ දායකත්වය තිබෙන වගේම, අපි අපේක්ෂා කරන කාර්යයන්ට අවශ්‍ය නියාමනයක් තිබෙන ආරක්ෂිත, සුවපහසු, අඛණ්ඩතාවෙන් යුත් කාර්යක්ෂම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවට මෙය පත් කළ යුතුයි.
පුද්ගලික බස් රථ 21,000ක් තිබූ යුගයේ අයිතිකරුවන් 19,000ක් සිටියා. බස් රථ සේවාව කර්මාන්තයකට වඩා ස්වයං රැකියාවක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශාල තරගකාරිත්වයක් ඇති වෙනවා. අද ජනතාව විශාල පිරිසක් නැති වේලාවලට එම සේවාව ලබා දෙන්නේ නැහැ. එය අපේ රටේ සංස්කෘතික ජීවිතයටත් බලපෑමක් ඇති කර තිබෙනවා. අද 9.30ට චිත්‍රපටියක් බලලා ගමට යන්න බස් එකක් නැහැ. ඒ අනුව, එය සේවාවක සිට ලාභ ලබන තැනට පරිවර්තනය වී තිබෙනවා. තනි තනි අයිතිකරුවන්, විවිධත්වයන් සහිත කාර්යමණ්ඩල, විවිධ වෙනස්කම් සහිත බස් රථ මීට හේතු වී තිබෙනවා.
ඒ නිසා ආණ්ඩුවක වගකීම වන්නේ ප්‍රශස්ත, ගුණාත්මක පොදු ප්‍රවාහනයක් ඇති කිරීමයි. ඒ සඳහා අපි පළාත් ක්‍රමයකට යා යුතුයි කියා අපි විශ්වාස කරනවා. හිමිකරුවන්ට තම බස් රථය, කලාප වශයෙන් ස්ථාපිත කෙරෙන බස් සමාගම්වලට එක් කළ හැකියි. එම සමාගම අඛණ්ඩ සේවාවක් ලබා දිය යුතුයි. ඒ කලාපය පාඩු ලබනවා නම් රජයට ඒ සඳහා සහනාධාරයක් ලබා දිය හැකියි. ප්‍රශස්ත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙළකට යා යුතුයි. අපි කිසිසේත්ම ප්‍රවාහන සේවාව ලාභ-අලාභ ගිණුමක දමා මැනීමට සූදානම් නැහැ. අපි මෙය මනින්නේ සේවාවක් ලෙසයි. මේ අන්දමින් පාඩු ලබන ග්‍රාමීය මාර්ගවලට ප්‍රවාහන සේවා ලබා දීමට අපි මෙවර අයවැයෙන් මිලියන 2000ක් පමණ වෙන් කර තිබෙනවා.
කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක ප්‍රතිලාභ ලැබෙන්නේ එළියේ ආර්ථිකය තුළයි. අපේ වැඩ කරන කාර්ය මණ්ඩලය කාර්යක්ෂම රැකියා ස්ථානයට ගෙන ගියාද? එම සේවා සහ නිෂ්පාදනවලින් තමයි ආර්ථිකයට ලාභ-අලාභ ලැබෙන්නේ. එසේ නොමැතිව බස් රථයෙන් රථයට, පාරෙන් පාරට පාඩුද ලාභද කියා මැනීම වැරදියි. ප්‍රශස්ත සේවාව මත තමයි අපේ ආර්ථිකය සහ ජන ජීවිතය උසස් තත්ත්වයකට පත් වෙන්නේ. ඒ නිසා රජයක් ලෙස අපේ අපේක්ෂාව වන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවාවක් නිර්මාණය කිරීමයි.
ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමට අපිට හොඳ කාර්යක්ෂම දේශපාලන අධිකාරියක් අවශ්‍යයි. අපේ ඇමතිතුමත්, නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනාත් මේ ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ඉතා හොඳින් වැඩ කරනවා. මම හිතනවා ඈත ගම්වල ධාවනය වන බස් රථ ගැන පවා ඔබෙන් විමසන අවස්ථා ඇති. එතරම් මේ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා උනන්දු වන හොඳ දේශපාලන අධිකාරියක් තිබෙනවා. මෙම පරිවර්තනය අත්කර ගැනීමේදී එය ඉතා වැදගත් වෙනවා.
ඒ වගේම අපේ ඉතා හොඳ නිලධාරී කණ්ඩායමක් සිටිනවා. විවිධ කාලවලදී විවිධ ගැටලු තිබෙන්න ඇති. අපි ඒ එකකින්වත් වර්තමානය මනින්නේ නැහැ. අපි ඔවුන් ගැන තීරණ ගන්නේ වර්තමානයේ හොඳද නරකද යන්න මත පමණයි. අපිට අතීතය තේරුම්ගත හැකියි. අපට ඇසී ඇති දෙයින් අපි කිසි කෙනෙකු මනින්නේ නැහැ. ඒ නිසා අපේ නිලධාරී කණ්ඩායම වර්තමානයේ මේ වෙනුවෙන් පෙළගැසී වැඩ කරයි කියා අපි විශ්වාස කරනවා.
විශේෂයෙන්, අද දිනයේ ශ්‍රී ලංගමයට ඇතුළත් වන ඔබටත් විශාල වගකීමක් තිබෙනවා. කොතැනකින් හෝ මේ ශ්‍රී ලංගමය පිළිබඳ ගොඩැනැගී තිබෙන ඉතා නරක යැයි හැඟෙන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සංස්කෘතිය වෙනස් කළ හැක්කේ කතාවලින්, ප්‍රකාශවලින්, ලියවිලිවලින් පමණක් නොවෙයි භාවිතයෙන් සහ වැඩ කරන ආකාරයෙන්. මෙහි සිටින ඔබ සියලු දෙනා ශ්‍රී ලංගමයට නව ප්‍රවේශයක් ගෙන එනු ඇතැ’යි විශ්වාස කරමින් ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට සුබ පතනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රගීත් මධුරංග, චන්දන සූරියආරච්චි, ධනුෂ්ක රංගානාත් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.



