චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී දෙදින නිල සංචාරයක් සඳහා හෙට (18) දිනයේ නවදිල්ලියට පැමිණෙනවා.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ ආරාධනයක් මත ඉන්දු – චීන දේශසීමා ගැටලුව පිළිබඳ වට මේස සාකච්ඡාවට සහභාගී වීම සඳහා චීන විදේශ කටයුතු අමාත්‍යවරයා නවදිල්ලියේ සංචාරය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.
සිය සංචාරයේ දී වැන්ග් යී, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සමඟ සාකච්ඡා පවත්වන බව ද නිවේදනයේ සඳහන්.
වැන්ග් යී ගේ සංචාරය සිදුවන්නේ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රැස්වීම සඳහා අගෝස්තු 31 වැනිදා නරේන්ද්‍ර මෝදි චීනයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබියදීයි.
ඉන්දියාව සහ චීනය මෑත මාසවල දී ඔවුන්ගේ සබඳතා වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටිනවා.
රුසියානු තෙල් මිලදී ගැනීම මත එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට තීරුබදු පැනවූ පසුබිමක ඉන්දු – චීන සබඳතාවල මෙම වර්ධනය භූ දේශපාලනිකව ඉතා වැදගත් වනු ඇති.




