බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියේ ඊයේ (17) ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමින්.
“තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණා.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බටහිරට තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති අතර, එවන් තත්ත්වයක් තුළ ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරණ උත්සාහය ප්‍රශංසනීය බවයි.
ගෝලීය දකුණේ හඩ සමුළුව ගෝලීය දකුණ මුහුණ දෙන බොහෝ ගැටලු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයකට පැමිණිමට උපකාරී වන බවද ජනාධිපතිවරයා පැවසුවා.
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳව ද මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් “දැක්ම” ප්‍රකාශය දෙරට අතර පවතින ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරන අතරම අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරන බවත්, එය අවසානයේ බොහෝ ක්ෂේත්‍ර හරහා දෙරට අතර ශක්තිමත් ඒකාබද්ධතාවයකට හේතු වනු ඇති බවත් පැවසීය.
එසේම ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවේ සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කළා.
ගෝලීය දකුණේ හඬ සමුළුව ඇමතූ ජනාධිපතිවරයා,
“ගෝලීය දකුණේ හඬ පිළිබඳ තුන්වන මාර්ගගත සමුළුව පැවැත්වීම පිළිබඳව මා සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. මෙම සමුළු මාලාව මඟින් අපට අපගේ දැක්ම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙන්ම එකිනෙකා සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා.
ඒ, වගේම මෙම සමුළුව ගෝලීය දකුණ මුහුණ දෙන බොහෝ ගැටලු සම්බන්ධයෙන් පොදු ස්ථාවරයකට පැමිණීමට අපට උපකාර කරනවා. බටහිරට තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති අතර, ඔවුන් මේ වන විට ගැටලුවේ කොටසක් බවට පත්ව සිටිනවා. යුක්‍රේනය සහ ගාසා තීරය ඒ පිළිබඳ ප්‍රධාන උදාහරණ බවට පත්වෙනවා.
ඒ, පිළිබඳ පෙර කථිකයන් විසින් අදහස් දැක්වූ නිසා මා ඒ පිළිබඳ සඳහන් කිරීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ. මෙම සන්දර්භය තුළ, ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරණ උත්සාහය අප අගය කළ යුතුයි.
ශ්‍රී ලංකාව සිය ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට මේ වන විට ගෙන ඇති පියවරද මා මෙහිදී සඳහන් කිරීමට කැමතියි. බංකොලොත්භාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව නිල ණයහිමි රටවල් සහ, චීන එක්සිම් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම්වලට එළැඹ සිටිනවා.
ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට අපට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බවද මම මෙම අවස්ථාවෙහිදී සඳහන් කළ යුතුයි.
අපගේ රටවල් දෙක විසින් එකඟ වූ “දැක්ම” ප්‍රකාශය අප දෙරට අතර වසර 2000කට අධික කාලයක් පුරා පවතින සහයෝගීතාව සිහිපත් කරන අතරම අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කර තිබෙනවා. මෙය අවසානයේ බොහෝ ක්ෂේත්‍ර හරහා අපගේ රටවල් දෙක අතර ගැඹුරු ඒකාබද්ධතාවයකට හේතු වනු ඇති.
මේ වන විට අප විස්තීරණ ආර්ථික හා තාක්ෂණික ගිවිසුමකට එළැඹීමේ අවසන් අදියරට ළඟා වී සිටිනවා. විදුලිය, ප්‍රවාහන සහ ගොඩබිම් සම්බන්ධතාව ඇති කිරීම ආරම්භ කරන අතර, අප එකඟ වූ අනෙකුත් ව්‍යාපෘති මෙන්ම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. මෙම ව්‍යාපෘති අපගේ දැනුම හා තාක්‍ෂණය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර ඩිජිටල් ආර්ථිකයක් කරා යාමට ද ශ්‍රී ලංකාවට හැකිවෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව ලබාදෙන සහාය පිළිබඳවද මාගේ කෘතඥතාව පළ කරනවා.
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය පිළිබඳව ද මා යමක් සඳහන් කළ යුතුයි. අප මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් සිටිනවා. එනිසා බිම්ස්ටෙක් සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. බිම්ස්ටෙක් සංගමයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම අරමුණු කරගනිමින් කලාපීය විස්තීරණ ආරථික හවුල්කාරීත්වයෙහි සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂා කරනවා. බෙංගාල බොක්ක කලාපය අපේ ආර්ථිකයේ දියුණුවට අත්‍යවශ්‍ය බව අප පිළිගන්නවා.
මා කථා කිරීමට අදහස් කළ බොහෝ මාතෘකා පිළිබඳ දැනටමත් පෙර කථිකයන් බොහෝ දේ සඳහන් කළා. නමුත් මා මෙහිදී යමක් සඳහන් කිරීමට කැමතියි. සෝවියට් දේශයේ බිඳවැටීම, ශිෂ්ටාචාර ගැටුම, ඉතිහාසයේ අවසානය වැනි අදහස්වලින් හැඩගැසුණු බටහිර ආධිපත්‍යය පෙන්නුම් කළ 1989 වසරෙන් පසු යුගය දැන් අවසන් වෙමින් පවතිනවා.
මෙම සමුළුව හා මේ සමාන රැස්වීම්, බ්‍රික්ස් සංවිධානයේ සහ G20 කණ්ඩායමේ ව්‍යාප්තිය මඟින් ගෝලීය දකුණට උරුමයක් ලබා දෙන නව පිළිවෙලකට මඟ සලසනවා. නිදහස ලැබූ දා සිට අප්‍රිකානු-ආසියාතික රටවල් එකතු කිරීමට පියවර ගත් ඉන්දියාවට, අප සියලු දෙනා අතර සමීප සමගිය ඇති කිරීම සඳහා මේ වන විට ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා.”