හිටපු ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතාගේ පාලන සමයේ දී ඔහු පෞද්ගලිකව මැදිහත් වී ලෝක උරුමයක් ලෙස සලකන සිංහරාජ වනාන්තරය මැදින් ඉදිකෙරුණු මාර්ගයට විරෝධය දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද පෙත්සම විභාගයට ගැනීමට අද (20) අභියාචනාධිකරණය තීරණය කළා.
දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ මෙම පෙත්සම 2021 වසරේ ගොනු කරන ලද්දක් බවයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් රජයේ ආයතනයකට ලෝක උරුම රක්ෂිතයක් ලෙස සැලකෙන වනාන්තරයක් මෙසේ එළිපෙහෙළි කරමින් මාර්ග තැනීමට කිසිදු බලයක් නොමැති බවටයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.
අදාළ පෙත්සම අද (20) දිනයේ දී සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු කුලතුංග මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු නීතිඥ මඬුල්ල ඉදිරිපත් කළ කරුණු නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවට පවසමින් නඩු විභාගය ආරම්භ කිරීමට අවසර දුන්නා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය, පරිසර අමාත්‍ය, එවක වාරිමාර්ග අමාත්‍ය වූ චමල් රාජපක්ෂ හා නීතිපතිවරයා ව නම් කර තිබෙනවා.
ලෝක උරුමයක් විනාශ කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමට කිසිදු නෛතික බලයක් නොමැති බවත් මෙය ජෛව මංකොල්ලයක් බවත් පෙත්සම්කරුවන් චෝදනා කරනවා.
රජයේ පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ අධිනීතිඥ නයන කහවිට මහත්මිය පෙනී සිටියා.















