රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රී පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක ය.
එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවූයේ රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ පැවති මහජන උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා කිරීමේදී ඇතිවූ සිද්ධියෙන් පසුවය.
උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඉන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණි.
එසේම පොලිස් නිලධාරීන්ද ඇතුළු 33 දෙනෙකු තුවාල ලැබීය.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය බලය ඉක්මවා කටයුතු කළේද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා මණ්ඩලයක් පත්කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් මහතා පැවසීය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ පැරණි මිලටම ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් රඹුක්කන ප්‍රදේශවාසීන් ඊයේ (19) අලුයම 01.30 සිට පැය 15ක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.
ඔවුන් විසින් කොළඹ – නුවර දුම්රිය අවහිර කරමින් ඉන්ධන බවුසරයක් දුම්රිය හරස් මාර්ගයේ නතර කර තිබුණි.
ඊයේ පස්වරු 5 පමණ වනතුරු පැවති මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් හා වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළා.
විරෝධතාකරුවන් මෙහිදී ආරක්ෂක අංශ දෙසට ගල් ප්‍රහාරද එල්ල කළ අතර හරස් කර තිබූ ඉන්ධන බවුසරයේ ටයර්වල හුළං ඉවත් කිරීමටද කටයුතු කළ බව සඳහන් විය.
මෙහිදී රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම්හලේ යන්ත්‍රයක හටගත් ගින්නක් වහා නිවා දැමීමට විරෝධතාකරුවන් කටයුතුකරන අයුරු වීඩියෝවල සඳහන්ව තිබුණි.
ඇති වූ නෙසන්සුන්තාව අතරතුර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පිරිස් ත්‍රිරෝද රථ හා යතුරුපැදි මගින් රෝහල්ගත කිරීමට විරෝධතාකරුවන් පියවර ගත්තේය.
මෙම ප්‍රහාරයෙන් රෝහල්ගත කළ සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ වූ අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ බව කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය සඳහන් කළාය.
සිදුවීමෙන් සිවිල් පුද්ගලයින් 13 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 20 දෙනෙකු තුවාල ලබා තිබුණි.
පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි චාමින්ද ලක්ෂාන් නමැති දෙදරු පියෙකි.
එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ ඔහු සිය පක්ෂයේ යොවුන් පෙරමුණේ හිටපු සමාජිකයෙකු බවය.
සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය හා ප්‍රකාශ සටහන් කරගැනීම කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් සිදුකරනු ලැබුවාය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයකින් පැවසුවේ රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වනු ඇති බවය.
විරෝධතා දැක්වීමේදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙසට සියලු පුරවැසියන්ගෙන් තමා ඉල්ලා සිටින බවද එහි සඳහන් ය.














