දිඹුලාගල මහදමන ගම්මානයට 27 වැනිදා අළුයම කඩාවැදුණු වන අලිරංචුවක් තම ගම්මානයේ නිවාස පහක් කඩා බිඳදමා ආහාරයට තබාගත් වී උර 15 ක් පමණ විනාශ කර නිවසක නවතා තිබූ ත්‍රීරෝද රථයකටද පහරදී හානි සිදුකර පලාගොස් ඇති බව ගොවීන් පවසයි.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට කඩාවැදුණු මෙම වන අලි රංචුව ගම්මානයෙ ස්ථිර නිවාස පහක් කඩා සම්පූර්ණයෙන් විනාශ කර, තමන්ගේ කෑමට තබාගත් වී පවා විනාශ කර ඇතැම් වී උර රැගෙන ගොස් ඇති බවද ගම්වාසීන් සඳහන් කරති.
මේ දිනවල වී අස්වනු නෙළා අවසන් වී ඇති බැවින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් නිරන්තරව රාත්‍රී කාලයේ අලි රංචු පිටින් ගම්බිම්වලට පැන දේපළ පවා විනාශ කර, ගෙවත්තේ වගාකර තිබෙන සියලු භවභෝග විනාශ කිරීම තමන්ට දරාගගත නොහැකි පාඩුවක් බවද මහදමන ගම්මානයේ ගොවීන් පෙන්වා දෙයි,
මෙම තත්ත්වය සැලකිල්ලටගෙන මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් ගම්බිම්වලට පැන රක්ෂිතවල සැඟවී සිටින වන අලි රංචු පලවා හැරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මහදමන ගම්මානයෙ ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.
අප මේ පිළිබඳව වෙහෙරගල වනජීවී නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් නිරන්තර වන අලි රංචු මේ දිනවල ගම්වදින බවත් ඔවුන් පළා හැරීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් හැකිතාක් ආරක්ෂාකාරීව ඔවුන් පළවා හැරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, තමන්ට පහසූකම් තිබෙන පරිදි අලි පලවා හැරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි,




















