Empty Ad
Empty Ad
 Empty Ad

කෝප් කමිටුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටට නිර්දේශ රැසක්

අවිචාරවත් ලෙස ආචාර්ය සහ මහාචාර්ය තනතුරු නාමයන් භාවිතා කිරීම වැලැක්වීම සදහා වන නෛතික ප්‍රතිපාදන මාසයක් ඇතුළත සකසා ප්‍රසිද්ධ කරන ලෙස කෝප් කමිටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම z ලකුණු ක්‍රමවේදයට අමතරව ප්‍රායෝගික පරීක්ෂණ පවත්වමින් විශ්ව විද්‍යාලවලට කරන බඳවා ගැනීම් අත්හිටුවීමටයි නිර්දේශ කර ඇත්තේ.

රැකියා වෙළදපොළට උචිත පරිදි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කිරීමටත් නිර්දේශ කර තිබෙනවා.

උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත වි‍දේශගතව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් අයවිය යුතු රුපියල් බිලියන 2ක හිඟ මුදල් ලබා ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල ඉවත්කිරීම කිරීම වෙනුවට වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද කමිටුව අවධාරණය කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව), මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබුණේ.

මෙහිදී කෝප් කමිටුව විසින් අවධානයට යොමු කළ මූලික කරුණු 10 ක් ඔස්සේ සාකච්ඡාව සිදු කෙරුණා.

1.මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේක පිළිපැදීම සම්බන්ධ ගැටලු

  1. Z ලකුණු ක්‍රමවේදයට පරිභාහිරව ඇතැම් විෂයන් සදහා යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම හරහා ඉහළ z අගයක් සහිත ඇතැම් සිසුන්ට අසාධාරණයක් සිදුවීම
  2. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ගෙවීම් සදහා පැමිණීම තහවුරු කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම
  3. නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් අනීතිකව ආචාර්ය, මහාචාර්ය තනතුරු භාවිතා කිරීම
  4. පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මගින් ප්‍රදානය කරනු ලබන උපාධි සම්බන්ධව නියාමනය
  5. ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නැංවීම සහ රැකියා වෙළදපොලට ගැළපෙන පරිදි පාඨමාලා සැකසීමේ අවශ්‍යතාව
  6. විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදල (UPF) අවභාවිතාවට ලක්වන බැවින් එය පාලනයකට නතුකිරීමේ අවශ්‍යතාව
  7. විශ්ව විද්‍යාල පද්ධතියේ මානව සම්පත් කළමනාකරණය සදහා පූර්ව අවබෝධයකින් යුතුව කටයුතු කිරීම
  8. විදේශීය ශිෂ්‍යයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව
  9. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමෙන් බැහැරව ඇති අවස්ථාවක එම කාර්ය නැවත ආරම්භ කිරීමට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම

මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු වුණා. 2021 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවන පිරිසෙන් 26%ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු පිරිසක් බවත් විද්‍යා විෂයයන් සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන පිරිස සාපේක්ෂව අඩු අගයක් බවයි මෙහිදී හෙළි වූයේ. නමුත් ලොව දියුණු රටවල විද්‍යා හා තාක්ෂණික විෂයයන්ගෙන් සරසවි වරම් ලබන පිරිස වැඩි බව පෙන්වා දුන් කාරක සභාව අවධාරණය කළේ මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා පියවර ගතයුතු බවයි.

මෙරට උසස්පෙළ සහිත පාසැල් සංඛ්‍යාව 2952 ක් බවත් ඉන් විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසැල් 1011 ක පමණක් බවත් ඒ අනුව පාසැල් 1941 ක විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු නොවන බවත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.

එනම් උසස්පෙළ සහිත පාසැල්වලින් 65.75% ප්‍රමාණයක විද්‍යා විෂයන් නොමැතිවීම ගැටලුවක් බවයි මෙහිදී සාකච්ඡා වූයේ.

STEM අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මේ සදහා විසදුම් සෙවීම ආරම්භ කොට ඇති අතර මෙම ගැටලුව විසදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ සදහා කඩිනමින් මැදිහත්වී උසස් අධ්‍යාපනයේදී විද්‍යා හා තාක්ෂණික අංශ‍ය සඳහා වැඩි සිසුන් ප්‍රමාණයක් යැවිමට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසටයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ.

නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම නිසා ප්‍රමාදයකින් තොරව විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම ඇතුළු කොමිෂන් සභාවේ වැඩපිළිවෙල අගය කළ කෝප් කමිටුව පවසා සිටියේ තවදුරටත් මෙරට විශ්ව විද්‍යාල ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කළ යුතු බවයි. විශේෂයෙන් ජාත්‍යන්තර සිසුන් මෙරට විශ්ව විද්‍යාලවලට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කර ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.

වසරකට රුපියල් 90,000ක මුදලට විවෘත විශ්ව විද්‍යාලය මගින් මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාවක් ආරම්භ කර ඇති බවත් මෙහිදී අනාවරණය වුණා. සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක රුපියල් මිලියන 2-3ක් පමණ වටිනාකමක් සහිත මෙම උපාධිය රුපියල් ලක්ෂ 3කට වඩා අඩු මුදලකට හැදෑරිය හැකි බවත් ‍කොමිෂන් සභා සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එබැවින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසටයි කමිටු සාමාජිකයන් කොමිෂන් සභාවට මෙහිදී උපදෙස් දුන්නේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල ඉවත්කිරීම කිරීම වෙනුවට වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් පෙන්වා දී තිබෙනවා.

උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්ව නිශ්චය (Quality Assurance) සදහා නව පනතක් මඟින් වෙනම ආයතනයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව පිළිබවද අවධානය යොමු වුණා. කමිටුව පෙන්වා දුන්නේ ඒ සදහා බලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටම හිමිවීම වඩා යෝග්‍ය බවයි. ‍

කොමිෂන් සභාවට මේ සදහා බලතල හිමියුත්තේ ඇයිද යන්න සවිස්තරාත්මකව කමිටුවට මාසයක් ඇතුළත දැනුම් දෙන ලෙස කමිටුව විසින් නිර්දේශ කළ අතර එසේම ඒ පිළිබඳව මැදිහත්වීමට කෝප් කමිටුව සූදානම් බවද කෝප් සභාපතිවරයා ප්‍රකාශ කළා.

උසස් අධ්‍යාපනය සඳහා වි‍දේශගව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බවත් මෙහිදී අනාවරණය වුණා.

අදාළ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අයකර ගැනීමට කටයුතු කළයුතු බවයි කමිටු සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ.

මෙසේ විදෙස්ගත වූ ආචාර්යවරු 617ක පිරිසකගෙන් 84ක් පමණක් මේවන විට අදාළ ගෙවීම් සිදුකළ බව මෙහිදී හෙළි වුණා. ඒ අනුව මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මාසයක් තුළ කොප් කමිටුව දැනුවත් කරන ලෙසටයි කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ.

විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ඇතැම් විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබදව අවධානය යොමු කළ කමිටුව පෙන්වා දුන්නේ මේ හරහා ඉහළ Z අගයක් ලබා ගත් සිසුන්ට අසාධාරණයක් සිදුවීමේ හැකියාවක් පවතින බවයි.

එම විෂයයන් සඳහා උසස්පෙළ විභාගයේදී ද ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා Z අගය ලබා දෙන බැවින් තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණයක් අනවශ්‍ය බව අවධාරණය කෙරුණා. ඒ අනුව කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේ මේ සම්බන්ධයෙන් තීරණයක් වහාම ගන්නා ලෙසයි.

විගණකාධිපතිවරයා විසින් දිගින් දිගටම පෙන්වා දී තිබූ පරිදි, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගෙවීම් සහතික කිරීම සදහා පැමිණීම තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ද කාරක සභාව විසින් කොමිෂන් සභාවට නිර්දේශ කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයන් විසින් විවිධ ආයතනවලින් අනීතික ලෙස ලබා දෙන ආචාර්ය, මහාචාර්ය තනතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් කමිටුවේ විශේෂ අවධානය යොමු වුණා. කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට කොමිෂන් සභාවට නෛතික ප්‍රතිපාදන නොමැති බවයි. මේ හරහා ආචාර්ය මහාචාර්ය තනතුරු පවා හෑල්ලුවට ලක්වන බැවින් කොමිෂන් සභාව මේ සඳහා මැදිහත් විය යුතු බව කමිටුව විසින් අවධාරණය කළේ.

මේ අනුව මාසයක් තුළ මේ සදහා සිදුකළ යුතු නෛතික වෙනස්කම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබුවා.

මෙම සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සඳහා නැවත මාස දෙකකින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ‍කැඳවීමට ද මෙහිදී තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?