සුනිල් මාධවගේ මතකයන් ගැන අසංක සායක්කාර තැබූ සටහන
සුනිල් මාධව ප්‍රේමතිලකගේ නික්ම යාම ලංකාවේට සිදු වුන විශාල පාඩුවක්.ඒ පිළිබදව විවාදයක් නැති තරම්…ඔහුගේ නික්ම යාමෙන් කම්පනයට පත් බොහෝදෙනා විවිධාකාරයෙන් ඒ ශෝකය තමාගේ මුහුන්පොත් පිටු තුල ලියා තිබෙනු අප දුටුවා.
ඒ අතරින් මේ සටහන අපව නැවත වතාවක් කම්පනයට පත් කලා…
මේ සටහන ලියැවී තිබුනේ “අසංක සායක්කාර” සහෘදයාගේ මුහුනුපොත් ගිනුමේයි….
———————————————————————————-
කුරුලු මිනිසා ඉගිලුණා
ඒ සුනිල් අයියා පත්තර කන්තෝරුවක සේවය කළ අවසන් රාත්‍රිය. “ඕන මඟුලක් කරගන්න කියලා අපි එළියට යමු”“එළියට බහිමු. හැබැයි පත්තරේ ඉවර කරලා”දැඩි ස්වරයෙන් සිය තීරණය ප්‍රකාශ කළ සුනිල් අයියා සත්දින පළමු පිටුවේ ලීඩ් නිවුස් එකේ හෙඩිමත් සියතින්ම ලියලා පෑන වහලා දැම්මා.‘මහින්දගේ මැතිවරණ ව්‍යාපරයේ කොටියෙක්’2005 ජනාධිපතිවරණ උණුසුම අද්දර සත්දිනෙන් එළියට බැස්ස සුනිල් අයියා කෙළින්ම ආවේ කොස්වත්තේ පුරුදු නිවහනට.
ඒ වෙනකොටත් අද වෙන්න නියමත වැඩේ ගැන මනෝරා අක්කා පෙරනිමිති දැකලා තිබුණේ. ඒ නිසා ම දොර ඇරියෙම හිනාවෙමින්.“ඒකත් ඉවර ද…?”
“ඉවරයි”ඇත්ත.
ඒකත් එක්ක ගොඩක් දේවල් ඉවර වුණා. සුනිල් මාධව කියන පත්තරකාරයා රිචඩ් ද සොයියා මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ පුංචි ගෙයක් ඇතුළෙ තනිවෙන්න පටන් ගත්තා. ඒ අල්ල පනල්ලේ අලුතින් පත්තර පටන් ගන්න විවිධ උත්සාහයන් දැරුවත් ඒ එකක්වත් කතාබහෙන් ඔබ්බට ගියේ නෑ.
අවස්ථා කීපයක පත්තර කීපයකට එක එක ඒවා ලිව්වත් සුනිල් මාධව කියන පත්තරකාරයට පත්තරයක් ඇතුළෙ භූමිකාවක් හිමිවුණේ නෑ.සුනිල් අයියා ඇදට වැටෙන්න කලින් වැටුණේ පුටුවට. ගේ ඉස්සරහා පුටුවක් තියාගෙන උදේ ගෙදරින් එළියට යන මනෝරා අක්කත් පුතත් ආපහු ගෙදර එනකම් සුනිල් අයියා පොතක් පත්තරයක් අතේ තියාන් ඔහේ පාර බලන් ඉන්න පටන් ගත්තා. පත්තර කන්තෝරු ඇතුළෙ මුණගැහුණු පත්තරකාර යාලුවෝ බාර් ඇතුළෙ මුණ ගැහුණු නානාප්‍රකාර මිතුරෝ ක්‍රමයෙන් සුනිල් අයියෙන් ඈත් වෙන්න තිබුණෙ.
ඉතින් ඊට පස්සේ තවත් ගොඩක් දේවල් සිද්ධ වුණා. මහින්දි යුද්දෙ දිනුවා. ඔව් සුනිල් අයියා ඒක වරණනා කරමින් එක එක කෑලි ලිව්වා. ජනතා වීරයා ජනතා ද්‍රෝහී ගොඩට තල්ලු වුණා. ලේබල් වැදුණා. මාධවගේ න්‍යායික පරිශුද්ධත්වය ගැන ලිට්මස් පරීක්ෂා වැහිවහින්න පටන්ගත්තා. ඇත්ත. සුනිල් අයියා යුද්දෙ ගැන එහෙම ලියපු එක අප්සට්. මානව ප්‍රේමය ගැන කතා කරපු ඒ යුද විරෝධියා ඒ කරේ වැරැද්දක්.
ඒත් වැරදුණේ සුනිල් අයියට විතරද…? දැන් කතා කියන උන් ඔක්කොම බෝසත් ද….? පත්තරයක් නැති පත්තරකාරයෙක් ගෙයක් අස්සේ තනිවුණාට පස්සේ මීටත් වඩා දරුණු දේවල් වෙන්න පුළුවන් කියලයි තාමත් මට හිතෙන්නේ. සංවාදයට ඇබ්බැහි වුණු සුනිල් අයියා ගෙයක් ඇතුළෙ ගොලු වෙනකොට අද සුනිල් අයියගේ න්‍යායික පාරිශුද්ධත්වය ගැන ලිට්මස්පරීක්ෂාව කරමින් කුරුසයේ ඇණගහන න්‍යායාචාර්යවරු මොකද කළේ…. නිකමට හරි මාසෙට සැරයක්වත් කොස්වත්ත පැත්තෙ ඇවිත් සුනිල් අයියා එක්ක කයියක් ගහලා ගියා නම් සමහර ප්‍රතිඵල මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
ඒත් ඒක එහෙම වුණේ නෑ. අවුරුදු 17ක් පත්තරයක් නැති පත්තරකාරයෙක් විදියට ගෙදර ඉඳලා සුනිල් අයියා ගෙදරම අවසන් හුස්මත් හෙළුවා.සමහරු සුනිල් අයියගේ භූමිකාව 88,89 ඉවර කරනවා. සමහරු 91,92 න් ඉවර කරනවා. තවත් සමහරු 2005න් ඉවර කරනවා. කවුරු කොහොම ඉවර කරත් සුනිල් අයියා ඒක ඉවර කරේ 2022.‘අපිට ලස්සන අනාගතයක් නැතත් ලස්සන අතීතයක් තිබුණා’ සුනිල් අයියගේ කටේ නිතරම තිබුණු මේ වචන ටික හිස් වචන නෙමෙයි කියලා ඒ අතීතයට සම්බන්ධ හැම කෙනෙක්ම දන්නවා. සුනිල් අයියව මම අඳුරගන්නේ ඒ අතීතයෙත් අන්තිම කාර්තුවේ.
ඊයේ රෑ ගේ මැද්දෙ උඩබලාගෙන ඉන්න සුනිල් අයියා දිහා බලන් ඉන්න කොට ඒ කාර්තුවේ ලබපු කෙටි සුන්දර මතක මොන්ටාජ් එකක් වගේ ඇස් ඉස්සරහා පේන්න ගත්තා.2001 අවුරුද්දෙ පළවෙනි වතාවට මම සුනිල් අයියව ජීවමානව දැක්ක මොහොත. ඒ නුගේගොඩ අයිඑම්එස් බිල්ඩින් එකේ කුඩා පන්තිකාමරයක් ඇතුළෙ. “මම සිගරැට් එකක් බොන ගමන් කතා කරාට කමක් නැද්ද…?”එහෙම කියලා සුනිල් අයියා ජනමාධ්‍යකරුවාගේ වගකීම ගැන දේශනය පටන් ගන්නකොට ඉස්සරම පේළිවළ හිටපු කෙල්ලො ලේන්සු නහයට ළං කරගත්තේ සිගරැට් අප්පිරියයි වගේ සීන් එකක් දෙන්න. ඒත් දේශනය අවසන් වෙනකොට උන් දන්නෙත් නැතුව උන්ගෙ ඇස්වලින් වැටෙන කඳුළු පිහිදුවෙත් ඒ ලේන්සුමයි.
2002 ජපුරේ විරුසමරුවක් වෙලාවේ වෙලාව වරද්දගෙන වැඩේට කලින් ඇවිත් අපිත් එක්ක ගෝරිදාලා වෑන් එක හරවගෙන කපුගේ ගෙට්ටුවෙන් එළියට යනකොට සුනිල් අයියා කපුගේව නවත්තගන්න පොඩි එකෙක් වගේ වෑන් එක පස්සෙ ‘කපුවා’ කපුවා කිය කිය දුවපු විදිය.2005 සත්දින කන්තෝරුව ඇතුළෙ පිටුව ප්‍රින්ට් එකට යවන්න පරක්කුයි කියලා මේසෙ ළඟට ඇවිත් කරදර කරන කොට කෝ දියන් කොල ටිකක් කියලා යෙව්ටුෂෙන්කොගේ ජීවත කතාවේ පරිච්ඡේද එක හුස්මට සිංහලට පෙරළගෙන ලියපු ඒ වික්‍රමය.තවත් ගොඩක් දේවල් ඒ මොන්ටාජ් එක ඇතුළෙ තිබුණා.
මොන්ටාජ් එක ඉවර වුණේ මීට අවුරුදු කීපයකට කලින් මේ ගෙදරම ඉස්තෝප්පුවේ පුටු දෙකක් ළඟ. ඒ වෙනකොට සුනිල් අයියා ගිලන් වෙමින් හිටියෙ. කතා කරන වචන තේරෙන්නෙ නැතිතමරට හඬ ව්‍යාකූලයි. තොල් දෙක දිහා බලාගෙන වචන තේරුම් අරන් උත්තර දෙන එක හරිම වෙහෙසකරයි වගේම දුක්බරයි.
ඒ නිසා එදා සන්ධ්‍යාව ගත වුණේ සංවාදයට වඩා නිශ්ශබ්දතාවට මුල් තැන දෙමින්. “අපිට දැන් කතා කරන්න දේවල් නෑ නේද මචං”කොච්චර අපහසුවුණත් ඒ වචන ටික සුනිල් අයියා කියලා දැම්මෙ සියුම් වේදනාවක් ද සමඟ. එතැනින් පස්සේ ඇත්තටම අපේ සංවාද ගොලුවුණ එක ගැන මේ මොහොතේ දැනෙන්නේ පශ්චාත්තාපී වරදකාරී හැගීමක්.
මේ ලියන මොහොතෙත් ඒ හැගීම දෑස තෙත් කරන්නෙ හදවතට කටු අනිමින්. මලක සුවඳ විතරක් නෙමෙයි මලක පෙත්තක මෙලෙකත් විඳින හැටි කියලා දුන්න මේ කුරුලු මිනිසා තමන්ගේ ඓතිහාසික කාර්ය භාරය භෞතිකවම දැන් හමාර කරලා සියුම් උපහාසයක් කට කොනේ රදවාගෙන අපි දිහා බලාගෙන යමක් කියනවා.
ඔව් ඒක හරි ලස්සන වචන තුනක් පුළුවන් නම් ෆේස් බුක් එකේ සටහන් දාන ගමන් පොඩ්ඩක් කොස්වත්තට ගිහින් සුනිල් අයියගේ මුණ දිහා බලලා ඒ වචන තුන ඇහෙනවද බලන්න.
‘මං යනවා හු-ත්තෝ.’
අසංක සයක්කාර





