කුමන ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි, කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේ නමක් අනපේක්ෂිත ලෙස ඊයේ (26) කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව අපවත් වී තිබෙනවා.
උන්වහන්සේ මෙරටට වැඩම කර සිට ඇත්තේ චෙක් රාජ්‍යයේ සිටයි.
වයස අවුරුදු 40ක් වූ මෙම ස්වාමින් වහන්සේ කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය සේනාසනයට වැඩම කර ඇත්තේ 2020 වසරේදීයි.
උන් වහන්සේ බඹරගස්තලාව අධිවිවේකී ගල්ලෙන තුළ වසරක පමණ කාලයක් වැඩසිටි බවයි වාර්තා වන්නේ.
මිනිස් වාසයෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගතකළ උන්වහන්සේ දානය සඳහා පමණක් ඉන් බාහිරට වැඩම කර තිබෙන අතර, උදෑසන එලෙස දානයට වැඩම නොකිරීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදි උන්වහන්සේ කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත් වී ඇති බවට සොයාගැනීමට හැකිව තිබෙනවා.
උන්වහන්සේ මෙම අනපේක්ෂිත විපතට මුහුණ පා ඇත්තේ වැඩසිටි ගල්ලෙන තුළදීම බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කළේ, මෙම සිද්ධියෙන් අදාළ ආරණ්‍ය සේනාසනයේ රැඳී සිටින අනෙකුත් ස්වාමීන්වහන්සේලාගේ ජීවිතවලට ද අවදානමක් පවතින බවයි.
ඒ, අනුව එම ස්ථානයේ වැඩවසන අනෙකුත් ස්වාමීන් වහන්සේලා ද එම ස්ථානයෙන් ඉවත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.













