කොළඹ, කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල ඊයේ (07) පස්වරුවේත් හදිසි ගිනි ගැනීමකට ලක් වුණා.
එම ගොඩනැගිල්ලේ 24 වන මහල ඊයේ දිනයේ මෙලෙස ගිනි ගැනීමකට ලක් වූ අතර, එම ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ හයක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.
එමෙන්ම පෙරේදා දිනයේදීත් ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වන මහලේ ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.
මේ අතර ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් කඩිනමින් අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ එම ගොඩනැගිල්ල තුළ අනවසරයෙන් රැඳී සිටි පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම එම ගොඩනැගිල්ල තුළ අකටයුතුකම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවන්නේ නම් ඒවා වැළක්වීම සඳහා පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.