කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කළ කෝටි තුනක් වටිනා භාණ්ඩ සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

රජයට අයවිය යුතු තීරු බදු ඇතුළු අනෙකුත් බදු නොගෙවා , ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ ආයතන මග හරිමින් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග මෙම භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු ද , (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙම පුද්ගලයන් දිනපතාම ගුවන් මගින් ඩුබායි ඇතුළු වෙනත් රටවලට ගොස් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන එන්නන් බව පොලිසිය සිය මූලික විමර්ශන කටයුතු වලදී අනාවරණය කර ගෙන තිබේ .

මෙම භාණ්ඩ තොගය පිළිබඳ කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර විවිධ වර්ගයේ ලැප්ටොප් පරිගණක , අයි පෝන් , විවිධ ජංගම දුරකථන , ජංගම දුරකථන උපාංග , විදේශීය නිෂ්පාදිත දුම්වැටි , ස්වර්ණාභරණ , විවිධ වර්ගයේ විස්කි , සුවද විළවුන් සහ මෝටර් රථ අමතර කොටස් විය.

කැළණිය , වීරකැටිය , පුත්තලම සහ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකු විසින් මෙම භාණ්ඩ තොගය නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ අතර ඔවුන්ට මේ ආකාරයට දිනපතා විදේශගත වෙමින් මෙරටට භාණ්ඩ ගෙන ඒම සදහා , ඔවුන් සතු ආර්ථික පසුබිම සොයා බලා , ඒවා පිළිබඳ ඉදිරි කාළයේ නෛතික පියවර ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටිති .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න , මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක සහ මීගමුව 111 සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරමින් සිටිති .

මෙම පුද්ගලයන් සිව් දෙනා සහ මෙම භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?