Empty Ad
AFC Banner
Empty Ad

ඔන්මැක්ස් වංචනිකයින්ගේ ඉල්ලීමක් අධිකරණය ඉවතලයි

තැන්පත්කරුවන්ගෙන් තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් එම තර්ජන වැළැක්වීමට අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා “ඔන් මැක්ස් ඩීටී” නමැති නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරුන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (18) ප්‍රතික්ෂේප කළා.

එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් පිරිසක් නීතිඥවරයකු මගින් මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් අධිකරණයෙන් එසේ ප්‍රතික්ෂේප කෙරුණු බවයි වාර්තා වන්නේ.

අධිකරණ නඩු කටයුතු සඳහා පැමිණි ඇතැම් අවස්ථාවන්හිදී අධිකරණය ඉදිරිපිට රැඳී සිටින තැන්පත්කරුවන් තමන්ට පහර දී ඇති බවත් ඉදිරි නඩු වාරයන් සඳහා පැමිණෙන අවස්ථාවන්හි දී ද තමන්ට එවැනි ම ආකාරයේ තර්ජන එල්ලවීමට ඉඩ ඇති බැවින් තමන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීම අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙසට සිය නීතිඥවරයා මගින් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් දොළොස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම සැකකරුවන් තැන්පත්කරුවන් දහස් ගණනක් සතු බිලියන ගණනක් වංචා සහගතව ලබාගෙන සුඛෝපභෝගී වාහන ඉඩම් ඇතුළු දේපළ රැසක් මිල දී ගෙන ඇතිි බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ දැනුම් දී තිබුණා.

එසේ මිල දී ගෙන ඇති දේපළ රැසක් මේ වන විට අධිකරණ නියෝග මත තහනම් කර ඇති අතර සිද්ධියෙන් පසුව විදෙස්ගතව සැඟව සිටින සැකකාර අධ්‍යක්ෂකවරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?