එප්පාවල තුන්වන මරණය අධික උණුසුම නිසා බවට තහවුරු වෙයි

ඊයේ (26) දින එප්පාවල මැඩියාව ප්‍රදේශයේ සිදු වූ මරණය මේ දිනවල පවතින අධික උෂ්ණ තත්ත්වය නිසා ශරීරයේ තාප කම්පනය වී හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එප්පාවල නාගරික හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම මහතා විසිනුයි මරණ පරීක්ෂණය සිදු කර ඇත්තේ.

මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ හෘදයාබාධයකට ලක් වීමෙන් මරණය සිදුව ඇති බවට වන අතර ඊට ආසන්නතම හේතුව වන්නේ මෙම පුද්ගලයා අධික තාපයට, සූර්ය රශ්මියට නිරාවරණය වීම බවට හෙළිවී තිබෙනවා.

“මෙවැනි අවස්ථා දෙකක් මීට ඉහතදීත් මේ ප්‍රදේශයේදී සිද්ධ වුණා, ඒ අනුව ඊයේ (26) මරණය පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය තෙවන මරණය අපිට කියන්න පුලුවන්. මේ අය උදෑසන 10.30ට පමණ කුඹුරට ගිය පසු පස්වරු 1.30ට පමණ තමයි මළ සිරුර සොයාගෙන තිබෙන්නේ. අධික සූර්ය රශ්මිය නිසා මිය ගිය පසු ශරීරයේ පෘෂ්ඨය මත දිය බුබුලු ඇති වී තිබුණා. මෙම මරණ ත්‍රිත්වයේදීම සමාකාර අවස්ථා අපිට දකින්න පුලුවන්, පාරිසරික උෂ්ණත්වය අධිකයි, ඒ වගේම ඔවුන් අධික ශරීර උෂ්ණත්වය සමඟ නෑමට කටයුතු කරනවා, ශරීරය තෙතමනයට ලක් කරනවා. ඒ නිසා හෘදයේ පීඩනය වැඩි වීම නිසා හෘදයාබාධ ඇති වීමේ අවස්ථා උදා වෙලා තියෙනවා” යනුවෙන් හදිසි මරණ පරීක්ෂකවරයා ප්‍රකාශ කළා.

එප්පාවල, මැඩියාව, යාය 02 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි තිදරු පියෙකු යි ඊයේ (26) මෙලෙස අධික උෂ්ණ තත්ත්වය නිසා ශරීරය තාප කම්පනය වී හටගත් හෘදයාබාධයකින් මිය ගොස් ඇත්තේ.

ඔහු ඊයේ සුපුරුදු පරිදී තමන් පදිංචි නිවසේ සිට නිවස පිටුපස ඇති කුඹුර වෙත පෙරවරු 11ට පමණ ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් පස්වරු 2ට පමණ ඔහුගේ පුතු ඒ පිළිබඳව සොයා බැලීමේදී කුඹුරේ ලියද්දක් මත වැටී සිටි පියා හමුවී තිබුණා.

ඒ වන විටත් අධික උෂ්ණත්වය හේතුවෙන් ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයක දිය බිබිලි මතු වී ශරීරයේ හම ගැලවී ගොස් තිබී ඇති බව සඳහන්.

කඩිනමින් ඔහු එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ඔහු සුපුරුදු පරිදී නිවස පිටුපස පිහිටි කුඹුරේ සිය පුතු හා දියණිය ගොවිතැන් කටයුතු කරන අයුරු බලාගෙන සිටීමට පැමිණෙන බවත් ඒ අවස්ථාවේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය පුද්ගලයාගේ පුත්‍රයා….

“මමත් වෙලේ වැඩ කර කර හිටියේ, තාත්තාට අමාරුවක් තිබුණේ නෑ, තාත්තා උදේට කාලා ගෙදරට වෙලා හිටියේ, මම 11ට විතර ගෙදර එද්දී තාත්තා හිටියා ගෙදර, මම සමිතියට ගිහින් ආයෙත් ඇවිත් වෙලට ගිහින් වැඩ කරලා ආවා. තාත්තා ගෙදර හිටියේ නෑ. ඊට පස්සේ මම තාත්තා නැති නිසා හැම තැනම බැලුවා. වෙලට ගිහින් බලන කොට තාත්තා වෙලේ වැටිලා හිටියා. මම තාත්තා උස්සගෙන ආවා. ඒ වෙලාවේ තද අව්ව තිබ්බා. අව්ව සැර නිසා තාත්තා ක්ලාන්ත වෙන්න ඇති. කරේ තියාගෙන එද්දී තාත්තාගේ ඇගේ දිය පට්ට තිබුනේ නෑ, ගෙදරට එද්දි දිය පට්ට ඇවිල්ලා. අව්ව නිසා තමයි එහෙම වෙලා තිබුණේ. තාත්තා වෙලට යන්නේ අක්කා හරි මම හරි වෙලේ වැඩ කරන ඒවා බලන්න. තාත්තාට වෙන අසනීප නෑ, තාත්තාට ක්ලාන්ත කැරකිල්ල ගතිය විතරයි තිබුණේ. අව්ව සැරේ යන්න ඇත්තේ තාත්තා. මං දැක්කා නම් ඔහොම වෙන්නේ නෑ.”

එප්පාවල ප්‍රාදේශීය රෝහලේදී මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති අතර පොලිස් සාක්ෂි සහ වෛද්‍ය සාක්ෂි උපයෝගි කර ගනිමින් මෙම මරණය මේ දිනවල පවතින අධික උෂ්ණ තත්ත්වය නිසා ශරීරය තාප කම්පනය වී හෘදයාබාධය ඇති වී මිය ගිය බවටයි තීරණය වී ඇත්තේ.

පසුගිය දින 10 තුළදීද එප්පාවල ප්‍රදේශයෙන් තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

මීට පෙර මිය ගොස් ඇත්තේ අවුරුදු 34 සහ 38 වයස්වල පසුවන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

පසුගිය 16 වනදා අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරඟයෙන් තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එප්පාවල, පහළ සියඹලෑව පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා 18වනදා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව් රශ්මියේ සිට දිය නෑමෙන් පසුව මියගොස් තිබුණා.

එම මරණ දෙක සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්ව එම මරණ සිදුව ඇති බවයි.

ඒ අනුව ඊයේ (26) සිදු වූ මරණය පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් සිදු වූ තුන්වන මරණයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58