ඉරානයේ දී තම මූලික අරමුණු සම්පූර්ණ වීමට ආසන්න බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ධවල මන්දිරයේ සිට රූපවාහින ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර හිටපු ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් සාකච්ඡා කරන ලද න්‍යෂ්ටික ගිවිසුම වැරැද්දක් ලෙස ට්‍රම්ප් මෙහිදී හඳුන්වන අතර, එය අවසන් කිරීමට ලැබීම තමාට ගෞරවයක් බවයි ඔහු පවසා සිටියේ.
ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන අත්හැරියේ නැති බවත් දිගු දුර මිසයිල වේගයෙන් සංවර්ධනය කරමින් සිටි බවයි ට්‍රම්ප් පැවසුවේ.
මේ වනවිට ඉරානයේ නාවික හමුදාව නැති වී ගොස් ඇති බවත්, ඔවුන්ගේ ගුවන් හමුදාව නටබුන් වී ඇති බව පැවසූ ට්‍රම්ප්, ඔවුන්ගේ නායකයින් බොහෝ දෙනෙක් මේ වනවිටත් මියගොස් ඇති බවයි එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
ට්‍රම්ප්ගේ විශේෂ ප්‍රකාශයේ ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ ඊශ්‍රායලය සහ ගල්ෆ් රාජ්‍යයන් ඇතුළු කලාපයේ එක්සත් ජනපද මිත්‍රයින්ට ස්තූතිය පුදකර සිටින බවයි.
ඉරානය මෙම රටවල් බොහොමයකට පහර දී ඇති බවයි ට්‍රම්ප් සඳහන් කළේ.
මේ අතර එක්සත් ජනපදයට විදේශයන්ගෙන් තෙල් අවශ්‍ය නොවන බව අවධාරණය කළ ට්‍රම්ප් මැද පෙරදිගින් තෙල් අවශ්‍ය රටවල් දැන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට පෙරමුණ ගත යුතු බවයි පැවසුවේ.
ඉරාන තර්ජන හමුවේ මැද ඉන්ධන ලබාගත නොහැකිව සිටින රටවලට, එක්සත් ජනපද තෙල් මිලදී ගන්නා ලෙසයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේ.













