ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වෙත පැමිණෙන බැතිමතුන්ට වැඩි පහසුකම්

ඉන්දියාව වසර 2,500 කට පෙර බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට මූලිකත්වය ගත්තා පමණක් නොව, ඉන්දියාවට පැමිණෙන ලොව පුරා සිටින බෞද්ධයින්ට අමතක නොවන හා භක්තිමත් වන්දනා අත්දැකීමක් සඳහා පහසුකම් සැලසීමට දීර්ඝ කාලයක පටන් මුල පිරීම් ගණනාවක් ආරම්භ කර තිබෙනවා.

බුදුන් උපන් දේශය නූතන නේපාලයේ වුවද, ශ්‍රී ලංකාව හරහා අග්නිදිග ආසියාවටත්, ටිබෙටය, චීනය, ජපානය වෙත බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා බලපෑම් සහගත කාර්යයක් ඉටු කළේ ඉන්දියාවයි.

මෙම සම්ප්‍රදායට අනුව යමින්, විශේෂයෙන් මෑත අතීතයේ, ඉන්දියාව, අන්ද්‍රා ප්‍රදේශ්, බිහාර් සහ හර්යානා හි බොහෝ පූජනීය ස්ථාන සහ ආකර්ශනීය ස්ථාන නැරඹීමට ලොව පුරා රටවලින් පැමිණෙන බෞද්ධයින්ට වැඩි පහසුකම් සැලසීමට ප්‍රයත්නයන් රැසක් ගෙන තිබෙනවා.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවය දැඩි සහෝදර සම්බන්ධතාවයක්, දශක ගණනාවක් පුරා පවතින දෙරට අතර භූගෝලීය සමීපත්වය ඉතිහාසය, සංස්කෘතිය, ශිෂ්ටාචාරය, ආගම්, භාෂා, සංගීතය, චිත්‍රපට, ක්‍රිකට් ක්‍රීඩාව, ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය, ගෞරවය, සාමය යන අංශවලින් සාක්ෂි දරනවා.

අදටත් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවෙන් ලද වටිනාම දායාදය බුදුදහමයි.

එය මෙරට ජන ජීවිතය හා සංස්කෘතිය හැඩගැස්වීමෙහි ලා සුවිශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබුවා.

සෑම වසරකම ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ලක්ෂ ගණනක් උතුරු ඉන්දියාවේ බෞද්ධ ස්මාරක නැරඹීමට වන්දනා චාරිකාවේ නිරත වනවා.

මෙම වසර මුලදී, ඉන්දියානු දුම්රිය සහ ආහාර සැපයුම් සංස්ථාව බෞද්ධ වන්දනා දුම්රිය ගමනක් හරහා බෞද්ධ වන්දනා චාරිකා සඳහා පහසුකම් සැලසීමේ නව්‍ය යෝජනා ක්‍රමයක් සකස් කරනු ලැබුවා.

මෙය ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට විශාල රුකුලක් වනු ඇති.

මෙම යෝජනා ක්‍රමය ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලබාදීමෙන් ඉන්දියාවට පැමිණීම පහසු කරයි.

වන්දනා ගමනේ අධ්‍යාත්මික හා ආගමික අංගයන් අනන්‍ය හා අර්ථවත් ලෙස අත්විඳීමට ද එමඟින් ඔවුන්ට අවස්ථාව සැලසෙනවා.

දින අටක මෙම වන්දනා ගමන සඳහා වැය වන මුදල ඉන්දියානු රු. 75,075ක් වන අතර සංචාරයට පෙර සහ පසු නවදිල්ලියේ හෝටල් නවාතැන් මෙන්ම නේපාල වීසා ගාස්තු ද ඊට ඇතුළත්.

මෙම පැකේජය උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ නේපාලයේ සියලුම ප්‍රධාන බෞද්ධ ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථාන ආවරණය කරයි.

සංචාරකයින් මුළු ගමන පුරාවටම පළපුරුදු මාර්ගෝපදේශකයින් ද සැපයෙනවා.

බෞද්ධ බැතිමතුන්ට නවාතැන් දීමටත්, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පුරාණ බෞද්ධ ස්ථාන සංවර්ධනය කිරීමටත් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා යටතේ ඉන්දියාව දැඩි උනන්දුවක් දක්වා ඇති බව දැකීම දිරිගන්වන සුළුයි.

සහයෝගීතාවයේ තවත් ආකර්ශනීය පියවරක් ලෙස, දකුණු කොරියාවේ සිට බෞද්ධ වන්දනාකරුවන් 108 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ පා සටහන් සොයා ගැනීම සඳහා කිලෝමීටර් 1,167 ක පා ගමනක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මාසයේයි.

බෞද්ධ වන්දනා ස්ථාන සම්බන්ධ කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ඉදිකරන ලද කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙරයි.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරමින් පළමුව ගොඩ බස්වනු ලැබුවේ කොළඹ සිට පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන් යානයක්.

ඒ මෙරට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද සමගින්.

ජපානය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, නේපාලය සහ අනෙකුත් බුදුදහම පිළිපදින රටවල් සමඟ හවුල් වී ඉන්දියාව රට පුරා බෞද්ධ උරුමයන් ප්‍රවර්ධනය කර ආරක්ෂා කිරීමට ගන්නා පියවර පසුගිය වසරේ නොයිඩා හි පැවති බෞද්ධ විද්වත් සමුලුවේදී ද ඇගයීමට ලක් වුණා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මියන්මාරයේ ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේ (GBU) ආනන්ද හිමියෝ බෞද්ධ පූජනීය ස්ථාන සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පුද කර සිටියා.

“බෞද්ධ පූජනීය ස්ථාන ප්‍රවර්ධනය සහ සංරක්ෂණය කිරීම වැදගත් වන අතර නරේන්ද්‍ර මෝදිගේ දක්ෂ නායකත්වය යටතේ ඉන්දීය රජය විසින් බොහෝ මුලපිරීම් ගෙන ඇත. බුද්ධාගමේ ශුද්ධ වූ ස්ථාන ආරක්ෂා කර ගැනීමෙන් මුළු ලෝකයටම සහජීවනය ඇති වන බව මට විශ්වාසයි.”

ඉන්දියාව තම නිවස බවට පත් කර ගත් ටිබෙට් ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා තුමා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී බුද්ධගයාවේ වට්පා විහාරස්ථානයේදී පස් අවුරුදු ‘පාලි සහ සංස්කෘත ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ කළා.

එහි දෙවන පියවර වශයෙන් පසුගිය මැයි මාසයේ දී භික්ෂූන් වහන්සේ සියක් නමක් මෙරට විවිධ ප්‍රදේශවල බෞද්ධ අධ්‍යයන වැඩසටහන් සඳහා එක් වුණා.

එමෙන්ම නවදිල්ලියේ දී පැවැත්වුණු ගෝලීය බෞද්ධ සමුළුව ද බුදුදහමේ චිරස්ථිතිය උදෙසා ඉන්දියාව ක්‍රියාත්මක කරන ලද ඉතා සුවිශේෂී කාර්යයක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකියි.

එමෙන්ම බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීමේ සහ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට සලසා දෙනු ලබන පහසුකම් වැඩිදියුණු කිරීමේ ස්වදේශ් දර්ශන් වැඩපිළිවෙල ද ඉතා වැදගත් පියවරක් වනවා.

ඒ යටතේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව ඉහළ මට්ටමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 76ක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ යටතේ උත්තර් ප්‍රදේශ්,බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, ගුජරාට් සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්ත 5 සඳහා වෙන් කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 265කට අධිකයි.

මීට අමතරව, බෞද්ධ උරුමයන් සහ ඉන්දියාවේ සංස්කෘතික විවිධත්වය සංරක්ෂණය හා ප්‍රවර්ධනය සඳහා රජයේ කැපවීම තවදුරටත් ඉස්මතු කරමින් නේපාලයේ ලුම්බිණියේ බෞද්ධ සංස්කෘතිය හා උරුමයන් සඳහා වන තාක්‍ෂණිකව දියුණු ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානය සඳහා 2022 මැයි මාසයේදී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මුල්ගල් තබනු ලැබුවා.

ඉන්දියානු රජය 2015 අප්‍රේල් 14 වන දින ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහා ඊ-සංචාරක වීසා (eTV) යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර හොඳ හිත පැතිරවීමක් ලෙස වීසා ගාස්තු ද අඩු කරනු ලැබුවා.

මෙය දඹදිව වන්දනා චාරිකාවේ නිරත වන වසරකට ලක්ෂ ගණනක් වන ශ්‍රී ලාංකිකයන්ට අතිශය වැදගත් මුලපිරීමක්.

2020 සැප්තැම්බර් මස පැවති අතථ්‍ය ද්විපාර්ශ්වික සමුළුවේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් නිවේදනය කළා.

බෞද්ධ විහරාස්ථාන ඉදිකිරීම/ප්‍රතිසංස්කරණය කිරීම, තරුණ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය, බෞද්ධ උරුම කෞතුකාගාර සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව, පුරාවිද්‍යාත්මක සහයෝගීතාවය වැනි ක්ෂේත්‍ර රැසක් සඳහා එම ප්‍රදානය වලංගු වනවා.

මීට අමතරව ඉන්දියාව තවත් බෞද්ධ රටවල් රැසක් සමග බෞද්ධ සිද්ධස්ථාන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?