Empty Ad
AFC Banner
AFC Banner

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර ජාතික රූපවාහිනියේ සභාපතිකමෙන් ඉවත් වුණ සිදුවීමේ ඇත්ත නැත්ත මෙන්න

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ඊයේ (24) දහවල් ශ්‍රී ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුණා.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් කෙරුණු අතර ධුරයට පත් ව තෙමසක් ගතවීමටත් පෙර ඔහු ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි වැඩිවශයෙන් කතාබහක් මතුවීමට පටන් ගත්තා.

ඔහු සභාපතිවරයා ලෙස පසුගිය සැප්තැම්බර් මස 25 වනදා එවක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්ගේ සුරතිනුයි සිය පත්වීමේ ලිපිය භාරගත්තේ.

කෙසේවෙතත් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දී ම සෙනේෂ් මහතා සිය නිල මුහුණුපොතේ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා සමග ගත් ඡායාරූප පෙළක් සමග දීර්ඝ සටහනක් ද තබා තිබුණා.

එහි ඇත්තේ මෙවැන්නක්;

2024.12.24 නත්තල් ලබන හවස අල්ලාප සල්ලාපය

සේවා අංක 1078 සිට සේවා අංක 2766 දක්වා

සේවා අංක 1078 කියන්නේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙකු වශයෙන් මම ජාතික රූපවාහිනියට බැඳිලා නිෂ්පාදකවරයෙකු ලෙස අස්වෙලා යන තෙක් මගේ සේවා අංකය. කිසිදවසක ආයෙත් තනතුරකට එන්න නොසිතුවත්, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් හදිසියේම ජාතික රූපවාහිනියේ සභාපති වශයෙන් සේවා අංක 2766 හැටියට වැඩබාරගන්න සිදුවීම අහම්බයක්. එම කාර්යය අවසන් කරලා අස්වීමේ ලිපිය බාර දීලා වර්තමාන ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්ක අල්ලාප සල්ලාප කතා කරන විට “එදා අපිට තිබ්බෙ මෙහෙයුමක්..” ඔහු මේ කාර්යය මා හට එදා දවසේ පවරපු හැටි මතක් කළේ දැඩි සහෝදරාත්මක ස්වරයෙන්. “ඒක ඇත්තටම ලොකු කැපකිරීමක්..ඔයා කළේ” අමාත්‍ය භූමිකාවෙන් මිදුණු නලින්දගේ හෘදයාංගම බව ඒ වචනවල තිබුණා. ඒ දවස අපි දෙන්නාම මතක් කළා.

2024.09.24 දිනයේ සවස 4.45ට පමණ සිදුකරගෙන යමින් සිටි දේශනයක් අතර සිසුන්ගේ ඉල්ලාගන්නා කෙටි විවේකයේදී වතුර ටිකක් බොන අතරවාරයේ නිහඬ කර තිබූ දුරකතනයට පැමිණ ඇති ඇමතුම් පරීක්ෂා කරන්නත් කිසියම් අවස්ථාවක් තියෙනවා. එක දිගට පැමිණ තිබූ ඒ ඇමතුම් අතර අලුතින් පත්වූ ජාතික ජන බලවේගය රජයේ හිතවතුන් කිහිප දෙනෙකුගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිඩුඩ කිහිපයක් මට මිස් වී තිබිණ. ඒ අතරවාරයේම වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් පැමිණි දුරකතන ඇමතුම “සෙනේෂ් කොහෙද ඉන්නේ? වැඩක් බාරදෙන්න තියෙනවා. විජිත අයියා හොයනවා.” මා දුටු කෙටි පණිවුඩ අතර විජිත අයියා එවූ කෙටි පණිවිඩයක් තිබිණ. “…….. ත් තියෙනවා, …… ත් තියෙනවා. මොකද්ද අරගන්නේ..” නලින්ද සුපුරුදු හිතෛෂි නමුත් තරමක බලකරන ස්වරූපයෙන් ඇහුවා. “ස්තූතියි.. මං එහෙම මොකවත් ගන්න අදහසක හිටියෙ නෑ.” “ඒවා පස්සෙ කතාකරමු ද.. හෙටම ජාතික රූපවාහිනිය ගන්න ඕන.. ඉක්මණට තීරණයක් ඕන..” නලින්ද ඇමතුම විසන්ධි කළා. නිම්මිට ඇමතුමක් ගත්තා. “පුලුවන් වෙයිද නිවාඩු ගන්න… ” නිම්මි එක්ක තරමක් දිග ඇමතුම අතරෙ බිමල් රත්නායක සහෝදරයාගේ ඇමතුමක් ආවා. “CV එකක් WhatsApp එකට එවන්න.. පරක්කු වෙන්න බෑ.. දැන්ම දාන්න” කියලා. මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද පීඨාධිපති තුමාට කතා කළා ම සුබ පතලා උපකුලපතිතුමාට කියන්නම් විනාඩි 5කින් එතුමාට කතාකරන්න කිව්වා. ඒ ඇමතුම විසන්ධි වූ සැණින් ප්‍රේමරත්න තෙන්නකෝන් සහෝදරයාගේ ඇමතුම වූයේ “සෙනේෂ් අයියේ.. CV එක ගන්න අපි දෙන්නෙක් ගෙදරට එන්නද..? අහලා. “VCගෙන් අනුමැතිය ගත්තේ නෑ තාම.” ප්‍රේම්ගේ ඇමතුම වගේ නෙවෙයි නලින්දගේ එවර දුරකතන ඇමතුමේ කිසිදු හිතෛෂි බවක් තිබුනේ නෑ “කෙටි කාලයක්වත් ඇදලා දෙන්න පුලුවන් වෙන්නම ඕන ..? මාස දෙකක් තුනක්..? මේක වැඩක්..! කරමු ඉතින් දැන් කරමු මේක..!! ” මාස තුනකට හිත හදාගත්තා. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ සංඛ්‍යාත්මක අඩුව හොඳින්ම දන්නා නිසා “සර් මං හිතනවා ලෙක්චර්ස් ටිකත් කරන්න කොහොම හරි..” කියලා සහමුලින්ම පූර්ණකාලීන නොවන හැටියට සේවා නිදහසක් උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියා. “යන්න ළමයා.. ජාතික වගකීම ඉටු කරන්න.” ජ්‍යේෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ උපකුලපතිතුමා නව පත්වීම හරහා බැඳුණු පරිපාලන නිරවුල් කරදීම් එවෙලේම ලේඛකාධිකාරී තුමාට පැවරුවා. ඉතින් CV එක WhatsApp කළා.
2024.09.25 දින උදෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පත්වීම් ලිපිය ලැබුණේ උණුසුම් වැළඳගැනීමක් එක්ක. වෙලාව අරගෙන ජාතික රූපවාහිනිය ගැනත් ඒ සම්බන්ධ තවත් දේ ගැනත් හොයලා හෙට වැඩ බාරගන්න හිතුවා. මාස තුනක කෙටි කාලයකට ගැළපෙන කෙටි සැලසුමක් පමණක් හදාගත්තා.
2024.09.26 දින වැඩ බාර ගත්තා. මාස තුනකින් සේවය අවසන් කරන අදහස මුල් කරගෙන “කෙටි කාලයයි මං ඉන්නේ.. ඒ ටිකට මේ වැඩ ටික කරගන්න ඕන..” කාගෙ කාගෙත් උදව්වෙන් ඒ මෙහෙයුම ආරම්භ කළා.
අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා සමග සසඳා බලද්දි මේ රජය බලයට පත්වන 2024 සැප්තැම්බර් මාසය අග වන විට ජාතික රූපවාහිනිය එතෙක් පැවතියා වූ දුර්වල සහ නොපිළිගත් මට්ටමෙන් මුදවා ගෙන, සිය මාධ්‍ය මෙහෙවරෙහිලා නිර්මාණාත්මක සහ තාක්ෂණ ශිල්පීයත්වයේ ප්‍රශස්ත මාධ්‍යකරණය අංශයෙන් මෙන්ම රජයේ ජනමාධ්‍ය ආයතනයක් ලෙස ආර්ථිකමය අංශයෙන් ද පැවති ඉතාමත් දුර්මුඛ තත්ත්වය මගහරවා ගනිමින් ගතවූ මාස තුනක කාල පරිච්ඡේදය තුළ දී

  • කලක් තිස්සේ සංස්ථාව සමග ගනුදෙනුවල දී ගැටළු සහගත ව කටයුතු කළ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, කොළඹ නගර සභාව, විදුලිබල මණ්ඩලය සහ සමාගම, ලංකා බැංකුව වැනි ආයතන සමග පැවති බදු, ණය, හිඟ, දඩ පිළිබඳව නැවත සාකච්ඡා කොට බිඳ වැටී තිබුණු විශ්වාසය නැවත ගොඩනැංවීමටත්,
  • මෙරට වෙළඳ ප්‍රචාරණ නියෝජිතායන මෙන්ම ජනමාධ්‍ය කර්මාන්ත සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ, ටෙලිනාට්‍ය සහ ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දූෂණය සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සංස්ථාව කෙරෙහි පැවති සැක සංකා හේතුවෙන් ඈත්ව ගිය සබඳතා නැවත ගොඩනංවා විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමටත්,
  • අන්තර්ජාතික වශයෙන් සාමාජිකත්වය අහිමිවීම සම්බන්ධයෙන් විශේෂයෙන් ආසියා පැසිෆික් විකාශන සංගමය (ABU) සහ විකාශන සංවර්ධනය සඳහා ආසියා-පැසිෆික් ආයතනය (AIBD) සමග පැවති ව්‍යාකූලතා සංසිඳවා නැවත සාමාජිකත්වය සුරක්ෂා කිරීමටත්,
  • ගුණාත්මක ප්‍රේක්ෂකත්වය නැවත ආකර්ෂණය පිණිස නව වැඩසටහන් ආරම්භ කිරීමේදී අනවශ්‍ය නිෂ්පාදන පිරිවැය කලමණාකරණය කිරීමට සහ පරිපාලන වියදම් පාලනය කිරීමට කටයුතු කිරීම මෙන්ම ටෙලිනාට්‍ය වැනි බාහිර වැඩසටහන් මිලදී ගැනීමේදී පාරදෘශ්‍යභාවය පවත්වාගැනීම තුළින් විනිවිද මූල්‍ය පරිපාලනයක් ඇතිකිරීමටත්,
  • සංස්ථාවේ ප්‍රවෘත්ති, කාලීන වැඩසටහන්, විචිත්‍රාංග වැඩසටහන්, ටෙලිනාට්‍ය, ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා තරග, නිතර ඉල්ලීම් ඇති පැරණි වැඩසටහන් සහ අනෙකුත් වැඩසටහන් ප්‍රවර්ග ටෙලිවිෂන් තිරයෙන් නරඹන ප්‍රේක්ෂකත්වය විශාල ගුණයකින් වැඩි කරගැනීමටත්, ඩිජිටල් අවකාශයේ අතීතයේ නොවූ තරම් සුවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ස්ථාපිත කරගැනීමෙන් ඉන් ආදායම් ඉපයීමටත්,
  • ජාතික නාලිකාව, චැනල් අයි, සහ නේත්‍රා ටීවී වෙන වෙනම අනන්‍යතා සහිත නාලිකා ත්‍රිත්වයක් ලෙස සලකා වෙනස් වෙනස් ප්‍රේක්ෂක සමූහ එල්ල කරගත් වැඩසටහන්, තාක්ෂණ සේවා සහ අලෙවි කටයුතු සිදු කිරීම ආරම්භ කිරීමටත්,
  • විටින්විට සේවක වැටුප් හා දීමනා ගෙවීමට නොහැකිවූ අතීත තත්ත්වය නැවත ඇතිවීම වළක්වා කලට වේලාවට සේවක වැටුප් ‍හා දීමනා ලබාදීමටත්, මූලික වශයෙන්ම ජාතික රූපවාහිනිය සමත් වුණා.

ඊට සහයෝගය දුන්නු කාර්ය මණ්ඩලයේ සැමට ස්තූති පූර්වක වෙමින් 2024.12.25 දිනට මාසික වැටුප් නොලබා මා විසින් ලබා දෙන ලද මාගේ සේවා කාලයට තුන් මසක් සම්පූර්ණ වන දින සිට මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව 2024.12.05 දා වර්තමාන ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡා කළා. 2024.09.26 දින සිට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් පත් කරන ලදුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයේ කටයුතු කළ මම මාගේ සේවාකාලය 2024.12.25 දිනට තුන්මසක කාලයක් සම්පූර්ණ කරන විට ජාතික රූපවාහිනියේ දැරූ තනතුරෙන් සමුගන්නවා. බලයට පත්වූ ජාතික ජන බලවේගය රජයේ මුල් පත්වීම් අතර මා ලද මෙම පත්වීම මගින් රජයට, රටට, ජනතාවට ජාතික වශයෙන් වගකියනු ලබන ගුණාත්මක ටෙලිවිෂන් මාධ්‍ය ආයතනයක් බවට නැවත ජාතික නාලිකාව පත් කරවන්නට අවස්ථාවක් කරගැනීමට ඒ කාලය තුළ හැකි වීම පිළිබඳව සෑහීමට පත් වන අතර, ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව සහ මගේ රාජකාරී අධීක්ෂණය කරන ලද විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමාත්‍යතුමන්ලා වෙතින් ලද සහයෝගය ඉතා අගය කොට සලකනවා. ජාතික රූපවාහිනිය මෙවැනි යළි සාර්ථක ආරම්භයක් තබන්නට කෙටි කාලීන සැලසුම ක්‍රියාත්මක කිරීම පමණක්ම නොව නැවතත් ජාතික රූපවාහිනියට ආදරය කැඳවමින් එහි ගුණාත්මක ප්‍රේක්ෂාගාරයට එක්වූ ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් මගේ ආදරණීය ගෞරවය හිමි කරනවා. ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, ආචාර්ය අජන්ත සෙනෙවිරත්න මෙන්ම ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන හිටපු මෑත කාලීන සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු විවිධ විද්වතුන් හිතවතුන් රසවතුන් විටින්විට මාහට දෙන ලද උපදෙස් සහ තොරතුරු මට උපකාර වූ බව සටහන් තබනවා. එමෙන්ම ගිහාන් ද සිල්වා සහෝදරයා නව සභාපති ධුරයට පත්ව ක්‍රියාත්මක කරනු ලබන අනාගත ඉදිරි සැලසුම් කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ! ඉතසිතින් සුබ පතනවා.

ජාතික රූපවාහිනියෙන් සමුගත්තත් වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් සමුගැනීමට මට අවස්ථාවක් නොමැත. නව වසරේ තවත් ජාතික මට්ටමේ වගකීමක් දරමින් නැවත ඔහු හා කටයුතු කිරීමට සිදු ව තිබේ. “ඒකත් කරන්නම වෙනවා..” අල්ලාප සල්ලාප අතරේම නලින්ද ආයෙත් එහෙම කිව්වා..” යනුවෙන් එම දීර්ඝ සටහන ආචාර්‍ය සෙනේෂ් බණ්ඩාර මහතා විසින් තබනු ලැබුවා.

471166139 10231139501523987 291157797948442177 n
470580229 10231139501683991 1450062933071784907 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?