ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගනු ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කබිනටා මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
එම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි පාඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වා දී සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e – CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද අනුවර්තනය කර යොදා ගැනීම මෙම ‘e-Court’ ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
එමඟින් ජාතික අධිකරණ දත්ත ජාලය (National Judicial Data Grid) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිතප්‍රවේශයට බාධා කිරීම හා ක්‍රියාපටිපාටිමය අකාර්‌යක්ෂමතා එමඟින් මග හැරවීමට හැකි වනු ඇත බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උපාය මාර්ගය සමඟ අනුකූල වෙමින් ‘e – Court’ ව්‍යාපෘතිය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන වලින් ‘e Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.















