අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදේශීය තානාපති කාර්යාලවලින් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මාර්ගයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටින්නේ.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක බැංකුව මෙන්ම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයද ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුව ඖෂධ මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට උදව් කරන බවද ප්‍රකාශ කර සිටියා.
ඉන්දියානු ණය වැඩපිළිවෙළ යටතේ ඖෂධ ලැබීම අවසන් අදියරේ පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සැපයීම සඳහා උපරිම ශක්තියෙන් කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා අදාළ අංශ සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
මේ අතර විදේශයන්හි සිටින වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් සහ දානපතීන් රැසක් ශ්‍රී ලංකාවට ඖෂධ සපයා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන් සියලු දෙනාට ස්තූතිය පුද කරන බවද ප්‍රකාශ කර සිටියා.




